April 19, 2024

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට විදුලිය කපනවද නැද්ද: පවිත්‍රාගේ වටේ ගිය පිළිතුර

විදුලිය නොකපන ස්ථාන 191 ක් පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම වාර්තාවක් නිකුත් කළා.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයද ඊට ඇතුළත්වයි තිබුණේ.

වාර්තාව ප්‍රතික්ෂේප කිරීම

එහෙත් බලශක්ති ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම වාර්තාව ප්‍රතික්ෂේප කරනවා.

ඇය සඳහන් කරන්නේ එය විදුලි අර්බුදය දරුණු වීමට පෙර නිකුත් කළ පැරණි වාර්තාවක් බවයි.

එය සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රසිද්ධ කළ වාර්තාවක් ලෙසටයි ඇමතිවරිය හඳුන්වා දෙන්නේ.

තෝරාගත් ස්ථාන

මේ වන විට තෝරාගත් විශේෂ ස්ථාන 161 ක පමණ විදුලිය විසන්ධි නොකරන බවයි ඇය හෙළිදරව් කරන්නේ.

එහෙත් මේ වන විට මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලිය විසන්ධි නොකරන බව ඇය සෘජුව කියන්නේ නැහැ.

ඇමතිවරිය සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව , රෝහල් , වරාය , ගුවන් තොටුපල , කර්මාන්ත ශාලා ආදියට විදුලිය විසන්ධි නොකරන බවත් ඊට ආසන්න ස්ථාන වල නිවෙස් වලද විදුලිය විසන්ධි නොවන බවයි.

අසල්වැසි නිවෙස්

එහෙත් මේ වන විට විදුලිය විසන්ධි නොකරන ස්ථාන අවට තිබෙන නිවාස වල විදුලිය කණුවලින් විසන්ධි කිරීමට තමා උපදෙස් දී ඇති බව ඇය හෙළිදරව් කරනවා.

ඇමතිවරිය මෙසේ පිළිතුරු දුන්නේ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට.

ජනතාව විදුලිය කැපිල්ල ඉවසාගෙන සිටින මේ මොහොතේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙක් ඇමතිවරියගෙන් ප්‍රශ්න කළා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 31 March 2022 23:56