April 24, 2024

චොකා මල්ලි නිදොස් කොට නිදහස්

පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31) නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට අමතරව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයයි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් පසු අදාල චෝදනාවන්ට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට ඉකුත් 2020 වසරේ ජූලි මස 31 වනදා මරණීය දණ්ඩනය නියම කළා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සිය අභියාචනා පෙත්සම් තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව එම පෙත්සම් විභාගයට ගත් අභියාචනාධිකරණය දීර්ඝ නඩු විභාගයකින් පසු එහි නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ඔවුන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.

Rate this item
(1 Vote)