April 23, 2024

පුද්ගලික බස් ධාවනයත් නවතින ලකුණු

ඉන්ධන අර්බුධය තවදුරටත් පැවතියහොත් ලබන සිකුරාදායින් පසු පෞද්ගලික බස් ධාවනය නතර කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

දැනට ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් 25%ක් පමණ බව ද ඉදිරියේදී ඉන්ධන නොලැබුණහොත් බස් රථ කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

පෞද්ගලික බස් රථ කර්මාන්තය පිළිබඳව රජය කිසිදු සහනදායි පිළිවෙතක් අනුගමනය නොකරන බවද ඔහු පැවසුවා.

මේ අතර දුම්රිය ගාස්තුවල සුළු වැඩිවීමක් කෙරෙන නමුත් වැඩිකෙරෙන දිනයක් තීරණය කර නැතැයි ප‍්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසුවා.

මගී ජනතාව පීඩාවට පත්වන ආකාරයේ ගාස්තු වැඩිවීමක් නොකරන අතර වැඩිවන ගාස්තු සකස් කරමින් සිටින බව හෙතෙම සඳහන් කළා.

පළමු කිලෝ මීටර් 10 සඳහා කිලෝමීටරයකට දැනට අය කෙරෙන රුපියල් 1.30 රුපියල් 2 ක් දක්වා වැඩි කෙරෙන බවත්, ප‍්‍රතිශතයකින් වැඩිවෙන්නේ පළමු කිලෝමීටර් 10 සඳහා බවත් සඳහන් කළ ඇමැතිවරයා සිංහල අලුත් අවුරුදු කාලය එළඹෙන නිසා ජනතාව මත එක්වර බර පැටවීමට සූදානම් නැති බවත් සඳහන් කළා.

දුම්රියට තෙල් සැපයීමේ ගැටලුවක් මෙතෙක් මතුවී නැති බවත් ඉන්ධන හිඟවීම හේතුවෙන් මේ දක්වා ධාවනය වන දුම්රිය අවලංගු වීමක් සිදුවී නැතැයි ද හෙතෙම කියා සිටියා.

Rate this item
(0 votes)