March 28, 2024

දරුවන් අවධානමේ - හේතුව කාලගුණික වෙනසක් Featured

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇගපත වේදනාව, හිසරදය, මහන්සිය වැනි ලක්ෂණ වැඩි වශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු අතර විජලනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවයි ඒ මහතා සඳහන් කළේ.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් මෙම තත්වය මඟහරවා ගැනීමට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන ලෙසත් දිනකට දෙවරක් ස්නානය කරන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළා.

සෑම වසරකම මාර්තු අග සහ අප්‍රේල් මුල් කාලයේ හිරු මුදුන් වීම හේතුවෙන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32ත් 33ත් දක්වා වැඩි විය හැකියි.

අද දිනයේ වැඩිම උෂ්ණත්වය යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

එය දැක්වුණේ සෙල්සියස් අංශක 33යි දශම 8ක් ලෙසයි.

ඊට අමතරව අනුරාධපුරයට සෙල්සියස් අංශක 33යි දශම 5කත් පුත්තලමට සෙල්සියස් අංශක 32යි දශම 5කත් කොළඹට සෙල්සියස් අංශක 32යි දශම 4ක උෂ්ණත්වයක් අද වාර්තා වුණා.

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 31යි දශම 4ක් ලෙසයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්නපුර, අනුරාධපුරය, යාපනය, මන්නාරම, මහනුවර සහ කොළඹ යන නගරවල සෙල්සියස් අංශක 30 ඉක්ම වූ උෂ්ණත්වයක් හෙට දිනයේ අපේක්ෂා කරන බවයි.

Rate this item
(0 votes)