March 29, 2024

ජනපති තවත් රාජ්‍ය ආයතනයකට යයි! මේ වසරේ ඉලක්කයත් කියයි

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවත් ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

වසරේ පළමු කාර්තුවේ දී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටිනවා. එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයක්. වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියා. 

කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ (24) පෙරවරුවේ නිරීක්ෂණය කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සැලසුම්සහගතව හා ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරයේ දියුණුව මගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා 1966දී සංචාරක මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර 2005 වසරේ දී එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බවට පත් විය.  

සංචාරකයන් ගෙන්වා ගැනීම, නවාතැන් හා නිවාඩු නිකේතන සැලසුම් කිරීම, සංචාරක හෝටල් සහ සංචාරක ආයතන ඇතුළු සංචාරක සේවාවන් ලියාපදිංචිය හා වර්ගීකරණය, බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල පැවරී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය, සමුළු කාර්යාංශය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වූ කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කළා.

ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කය වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල කෙරුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් එය තවදුරටත් බිඳ වැටීමට ලක් විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් වේගවත් ප්‍රවර්ධනයක් සඳහා රජය සියලු පියවර ගෙන තිබෙනවා.

එන්නත්කරණ වැඩපිළිවෙළිහි සාර්ථකත්වය මත නැවත සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනවා. 

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව දේශීය හා විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් පවතින බවත් ඊට සරිලන පරිදි පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ සඳහා රට පුරා ව්‍යාප්තව ඇති හෝටල් පද්ධතියේ සහාය ලබාගනිමින් තරුණයින් සඳහා ප්‍රායෝගික පුහුණුවත්, න්‍යායාත්මක දැනුමත් ලබාදීමට සැලසුම් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කළ හැකි බව ජනාධිපතිවරයා  පෙන්වා දුන්නා.

සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්‍රචාරණයන් ගෙන යමින් තිබෙනවා. එවැනි පසුබිමක වුවද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතික බවත් පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරටට පය තැබීමේ සිට නැවත පිටත්වීම දක්වා ඉහළ ආගන්තුක සත්කාරයක් සමග සිත්ගන්නා සුළු සේවාවක් සැපයීමට කටයුතු සැලැස්වීම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වගකීමක් බව ද කියා සිටියා.

ගුවන් සමාගම් සමග සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්‍යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items