March 28, 2024

ඩයස්පෝරාව සමග සාකච්ඡාවට ජනපති කැමැත්තෙන්! ආයෝජනයටත් ඇරයුම්

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

ඊයේ පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා නූලන්ඩ් මහත්මිය දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව පැවසුවා.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළා.

මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. 

එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන්ඩ් මහත්මියගේ ඇගයීමට ලක් කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා දූත පිරිසෙන් ඉල්ලා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 09:24

Related items