April 20, 2024

බැසිල්, විමල් පිලේ පක්ෂයක් බාන ලකුණු - රාජ්‍ය ඇමතිකමකුත් ලෑස්තියි?

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සටන තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා සමග.

"මුළු රටම හරි මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ රැස්වීමේදී වීරවංශ සහ ගම්මන්පිල මහත්වරුන් දෙපළ මුදල් ඇමතිවරයා විවේචනය කිරීම ජනපතිවරයා විසින් ඔවුන් දරු ඇමති ධුරවලින් ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් වුණා.

උපක්‍රමශීලී දේශපාලනඥයා

බැසිල් රාජපක්ෂ මහතාද දේශපාලන උපක්‍රම වලට නම් දැරූ කෙනෙක්.

ඔහු විමල් වීරවංශ පාර්ශ්වය සමඟ සිටින කීප දෙනෙකු එක්කර ගන්නා බව කලක පටන් කියවුනු කරුණක්.

ඒ බව මේ වන විට සනාථ වී තිබෙනවා.

දේශපාලන ගනුදෙනුව

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් නායකත්වය දෙන ආන්ඩුවේ සන්ධානගත පක්ෂය 11 කණ්ඩායම නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් මේ වන විටත් බැසිල් රාජපක්ෂ පාර්ශ්වය සමග ගනුදෙනු කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරන අසංක නවරත්න මහතායි.

නවරත්න මහතා පක්ෂ 11 සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් ගත් තීන්දුවට පටහැනිව යමින් එම සමුළුවට සහභාගී වී තිබෙනවා.

පක්ෂ 11 තීන්දුව

පක්ෂ 11 සන්ධානය වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි හා මහාචාර්ය තිස්ස විතාරණ පමණක් සර්ව පාක්ෂික සමුළුවකට සහභාගී විය යුතු බවයි එම කණ්ඩායමේ තීරණය වූයේ.

එහෙත් ඉකුත් 21 රාත්‍රියේ රැස්වී තිබෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය සර්ව පාක්ෂික සමුළුවට සිය පක්ෂය සහභාගි විය යුතු බව තීරණය කොට තිබෙනවා.

නවරත්න මහතාට පුරප්පාඩුව තිබෙන රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

පුරප්පාඩු තුනක්

විමල් වීරවංශ මහතා නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ ජයන්ත සමරවීර, නිමල් ලන්සා යන්න රාජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ධූරවලින් ඉල්ලා අස්වීමත් ප්‍රවාහන රාජ්‍ය ඇමති ධූරය දැරූ දිලුම් අමුණුගම මහතා කැබිනට් ඇමැති ධුරයකට පත් වීමත් හේතු කොටගෙන මේ වන විට රාජ්‍ය අමාත්‍යධුර 3ක් පුරප්පාඩුව පවතිනවා.

අසංක නවරත්න මහතා ආණ්ඩුවේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරය දරු මුත් පක්ෂ 11 කණ්ඩායම සමඟ වැඩ කිරීම හේතුවෙන් ජනපතිවරයා විසින් ඔහුව එම ධුරයෙන් ඉවත් කළා.

ඔහු වෙනුවට එම ධුරයට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාව පත්කර තිබෙනවා.

පක්ෂයේ ආරම්භය

එම ධුරයට අදාළව නවරත්න මහතාට තෙල් සමග වාහනයක් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්යාලයක්ද හිමිව තිබුණා.

යම් හෙයකින් නවරත්න මහතා බැසිල් රාජපක්ෂ පාර්ශවය සමඟ සමඟ එක් වූවොත් පක්ෂ 11 කණ්ඩායම පක්ෂ 10 කණ්ඩායමක් බවට පත් වනු ඇත.

ශ්‍රී ලංකා මහජන පක්ෂය අභාවප්‍රාප්ත ජනකාන්ත නළුවකු මෙන්ම දේශපාලඥයෙකු වූ විජය කුමාරතුංග මහතා විසින් නිර්මාණය කරන ලද්දක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 17:23