April 20, 2024

සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි! පරණ යාළුකම මතක් කරමින් රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

නිමල් සිරිපාල ඇමතිවරයා කතා කොට පරණ යාලුකමටවත් සර්ව පාක්ෂික සමුළුව සහභාගි වන්නැයි පැවසු බව හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා,

"මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම් උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මට මුණගැහිලා කිව්වා මේකට එන්න කියලා. පරණ යාලුකමටවත් එන්න කියලා මේක වැදගත් කියලා. ඒ නිසා මම මෙතනට ආවා."

බැංකු ක්ෂේත්‍රය බිඳ වැටීමට ආසන්න මොහොතක සිටින බවත් ඒ සඳහා ආරක්ෂක දැලක් නිර්මාණය කිරීමට රජය සහතික විය යුතු බවත් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 2022 අයවැය සකස් කරන අවස්ථාවේ මෙවැනි අර්බුදයක් නොපැවති අතර නව අයවැයක් සකස් කරන්නේ නම් සහන දෙන අයවැයක් සකස් කළ යුතු බවයි.

එමෙන්ම එහිදී අත්‍යවශ්‍ය වියදම් පමණක් අන්තර් ගත කිරීමද සිදු කළ යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ.

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටිනවා.

Rate this item
(1 Vote)