March 29, 2024

ඊජිප්තු තානාපති ඇමති ජි.එල් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමු වී ඇති බව වාර්තා වෙනවා.

තානාපති මොස්ලේ මහතා උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය පීරිස් මහතා ඒ මහතා ශ්‍රී ලංකාවේ සේවයේ නිරත වන කාලය තුළ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. 

තවද සිය අදහස් පළ කළ අමාත්‍ය පීරිස් මහතා සහ තානාපති මොස්ලේ මහතා දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන ගැටළු පිළිබඳව ද සිය අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍ය පීරිස් මහතා ඊජිප්තු තානාපතිවරයා දැනුම්වත් කර ඇති බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ඊජිප්තු ජනරජය මැදිහත් වීම සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් මහතා ඊජිප්තු තානාපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

බහුපාර්ශ්වික සංසද හමුවේ දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව ඒ මහතාගේ ඇගයීමට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

51 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති සූදානම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

 

Rate this item
(0 votes)