March 29, 2024

දැන් ජනතාව රැය ගත කරන්නේ පෝලිම්වල - වසා දැමු ඉන්ධන හල්වල සේවකයින් බලා සිටී

හැටන් කොටගල පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල ඩිසල් ඉන්ධන ලබා ගැනිම සදහා අද (21) අලුයම සිට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය දෙපස වාහන ගාල් කර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම ඉන්ධන පිරවුම්හලට මෙතෙක් ඩීසල් ඉන්ධන ලැබි නොමැති බවත්, ඩීසල් ඉන්ධන ලැබෙන තෙක් තමන් පෝලිම් වල රැදි සිටින බවයි රියදුරන් කියා සිටියේ.

එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටින්නේ තම ඉන්ධන පිරවුම්හලට මෙතෙක් ඩීසල් ඉන්ධන තොග ලැබි නොමැති බවයි.

එමෙන්ම ඔවුන් කියා සිටියේ ඩීසල් ලැබෙන වේලාවක් නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

මේ අතර ඒෂියන් මිරර් අප කොළඹ අවට කළ සොයා බැලීමකදී අපට වාර්තා වුණේ හෝමාගම, කොට්ටාව, රාජගිරිය, නුගේගොඩ, මහරගම, බොරලැස්ගමුව, බත්තරමුල්ල සහ පැලවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන නොමැතිවීමෙන් ඉන්ධන හල් වසා දමා ඇති බවයි.

ඇතැම් ඉන්ධන හල් වල තෙල් තිබුණද කිලෝමීටර් ගණන් දුර පෝලිම් ද ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

කර්මාන්ත ශාලා, ව්‍යාපාරික ස්ථාන විදුලි කප්පාදුව හේතුවෙන් අඩපන වී ඇති පසුබිමක ජෙනරේටර් සඳහා ඉන්ධන නොමැති වීමෙන් එම ආයතන වැසීයාමේ තත්වයක් උද්ගත වී තිබෙනවා.

එමෙන්ම පොදු ප්‍රවාහන සඳහා ඇත්තේද ඉතාමත් අඩු බස්රථ ඉතා අඩු ප්‍රමාණයක්. 

මේ අතර නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුමහල් දෙකක් තිබෙන අතර ඉන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට අද (21)  ඩීසල් ලීටර් 6600 ලැබුණු බවත්, එම ඩිසල් තොගය පැය දෙකක් වැනි කෙටි කාලයක් තුල අවසන් වු නිසා තම ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ඉන්ධන සංචිතයේද නොමැති නිසා ඉන්ධන පිරවුම්හල තාවකාලිකව වසා දැමු බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

ඉන්ධන පිරවුම්හල තාවකාලිකව වසා දැමුවද ඉන්ධන ලබා ගැනිම සදහා පැමිණි වාහන නුවරඑලිය ගාමිණි ජාතික පාසල අසල සිට නුවරඑලිය නගරය දක්වා කිලෝමිටර් දෙකක් දුරට තවදුරටත් ගාල් කර තිබෙන බව අප ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන නොමැතිව බස් රථ ගණනාවක්ද ගාල් කර තිබු බවද වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2022 17:05