April 24, 2024

ඇමති ප්‍රසන්නගේ අලුත් වැඩේ! ප්‍රංශ යුවතියන් 300ක් එක්ක ගම වටා දුවයි (PHOTOS)

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද Raid Amazones 2022 වැඩසටහන සීගිරිය, පොල්අත්තාව ගම්මානයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ප්‍රංශ යුවතියන් තුන්සීයකගේ පමණ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු පැවසූවේ.

අළුයම 6.30ට පමණ පොල්අත්තාව විහාරස්ථානය අසලට ඒකරාශි වූ ප්‍රංශ යුවතියෝ 300 දෙනාගෙන් දෙසිය හතළිහක් පමණ දෙනා ‍ග්‍රාමීය ප්‍රදේශ ඔස්සේ කිලෝමීටර් 16ක පමණ දුරක් පාගමනින් දිවීම ආරම්භ කළා.

ප්‍රංශ යුවතියන් කණ්ඩායම් වලට බෙදා විනෝදාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙය සංවිධානය කොට තිබුණු අතර සීගිරිය සිට වෑවල වැව දක්වා මෙම පිරිස දීවීම සිදුකරන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහන් කළා.

මේ අවස්ථාවට එක්වූ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සිට යුවතියන් තුන් සියයක් පමණ දෙනා එක්ව සිටින බවය.

එයින් යුවතියන් 240ක් පමණ දෙනා මෙම ඉසව්වට සහභාගී වන බවත් ඉදිරි දින කිහිපයේම මෙවැනි විවිධ ඉසව් සංචාරක ප්‍රවර්ධනයට සූදානම් කර තිබෙන බවද සඳහන් කළා.

මෙම යුවතියන් තෝරා ගැනීම, මෙරටට ගෙන්වා ගැනීම ආදී සියල්ල සදහා මෙරට මුදලක් වියදම් කිරීමකින් තොරව එම සංචාරකයන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරමින් පැමිණි ඇති බවද ඒ මහතා සඳහන් කළා.

මෙම ඉසව්ව අවසන් වීමත් සමග මෙම යුවතියන්ගේ පවුල්වල පිරිස් ලංකාවේ සංචාරයට පැමිණීම තවත් විශේෂ කරුණක් බවද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළා.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය විදේශ රටවල් වල සිදු කරන බවත් මැදපෙරදිග රටවල් සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සංචාරක අමාත්‍යාංශය මගින් සිදුකරන බවද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසූවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 March 2022 14:13