April 25, 2024

සෞදි විදේශ ඇමැති එක්ක ඇමැති ජී.එල් සාකච්ජාවක

මෙරට සංචාරයක නිරත සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (14) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.

සෞදි විදේශ අමාත්‍යවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකා - සෞදි අරාබි ද්විපාර්ශ්වික සබඳතා ප්‍රතිඵල මත පදනම් වූ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා දැඩි උද්‍යෝගය පිළිබඳව සඳහන් කර තිබෙනවා.

වත්මන් ගෝලීය සන්දර්භය තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර රාශියක් සම්බන්ධයෙන් ශක්තිමත් සබඳතා පැවැත්වීමට අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී සිය එකඟත්වය පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී සෞදි අරාබිය ශ්‍රී ලංකාව වෙත පළ කළ දැඩි සහයෝගය සහ අනුගමනය කළ සංවේදී ප්‍රවේශය, අමාත්‍ය පීරිස් මහතාගේ ඇගයුමට ලක් වී තිබෙනවා.

කොළඹ වරාය, හම්බන්තොට වරාය, හම්බන්තොට විශේෂිත ඖෂධ කලාප, අලුතින් හඳුනාගත් තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ ඇඟළුම්/රෙදිපිළි කලාපය සම්බන්ධයෙන් සෞදි ආයෝජන දිරිමත් කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා, සෞදි අරාබියේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා පවත්නා ඉහළ රැකියා අවස්ථා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා. 

සංවර්ධන සහයෝගීතාව ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ වැදගත් අංගයක් බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවට යටිතල පහසුකම් සංවර්ධන සහය ලබා දීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කර ඇති බවත් වාර්තා වෙනවා.

මේ වන විට දෙරට අතර පවත්නා ඉහළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජය සතු කැපවීම පිළිබඳව නැවත අවධාරණය කළ සෞදි විදේශ අමාත්‍යවරයා, ආර්ථික සහයෝගීතාව පිළිබඳව වැඩිදුර අවධාරණය කර තිබෙනවා.

තවද වර්තමානයේ දී තෙල් මත යැපෙන සෞදි අරාබි ආර්ථිකය, ‘සෞදි අරාබිය 2030’ නමැති දැක්ම අනුව මැද පෙරදිග කලාපයේ ඩිජිටල් ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන බව ඒ මහතා අවධාරණය කළා.

 

Rate this item
(0 votes)