April 25, 2024

ඉන්ධන මිලෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාමටත් බාධා

ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ, ව්‍යාපාරිකයන්ගේ පැමිණීම 50% වඩා අඩු වීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු.බී.ඒකනායක මහතා පැවසුවා.

වෙනත් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 25ත් 30ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් එහෙත් මේ දිනවල එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් දෙකක් පමණ ප්‍රමාණයක්වත්  නොලැබෙන බවත් ඔහු සඳහන් කළා.

ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් පැමිණීමද අද (13) අලුයම වන විට 60%- 70% කින් පමණ පහත වැටී ඇති බවද ඔහු පවසා සිටියා.

යාපනයෙන් පහුගිය දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබුණ ද අද අලුයම යාපනයෙන් එළවළු ලොරි රථ දෙකක් පමණක් පැමිණ තිබෙන අයුරු දැකිය හැකි වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

තෙල් පොහොර හිගයෙන් බැට කෑ ජනතාව පසුව ඉන්ධන පෝලිම් වල ලත වී දැඩි අපහසුතා මැද වගා කරගත් අස්වැන්න නෙලා ගැනීම සිදුකරන අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම තුළින් ගොවීන් තවදුරටත් අපහසුතාවයට පත්වූ බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු.බී ඒකනායක මහතා සඳහන් කළා.

ගොවීන් පමණක් නොව මේ වන විට ආර්ථික මධ්‍යස්ථනයේ ව්‍යාපාරිකයින්ද සේවකයන්ට පඩි ගෙවා ගැනීමට සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)