March 29, 2024

ගෑස් හිඟය උග්‍ර අතට - රෝහලට යවන්න තිබූ ගෑස් ටැංකි බලෙන් අරන් ගිහින් (PHOTOS)

බදුල්ල මහ රෝහල වෙත යැවීමට සූදානම් කර තිබූ ගෑස් ටැංකි බලෙන් රැගෙන ගිය පුද්ගලයින් පිළිබදව සිසීටීවී දර්ශණ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බදුල්ල පොලීසිය පවසනවා.

පසුගිය 12 වන දින බදුල්ල මහියංගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් ගෑස් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් ගෑස් ටැංකි කිහිපයක් රැගෙන ගොස් ඇති බවට බදුල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් ඔස්සේ මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා.

ඉන්ධන පිරවුම්හල් කළමණාකාරිත්වය සදහන් කර සිටියේ පෙරවරුවේදී තම ආයතනයට පැමිණි ගෑස් ලොරියෙන් ගෑස් මිලදී ගැනීමට විශාල පිරිසක් පෝලිමේ රැදී සිටියත් ගෑස් තොගය අවසන් වීමෙන් බොහෝ පිරිසකට ගෑස් ලබා ගැනීමට නොහැකිවූ බවයි.

එසේ ගෑස් ලබාගත නොහැකි වූ  පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් තම ගෑස් බෙදා හැරීමේ ස්ථානයේ වෙන්කර තිබුණු ගෑස් ටැංකි කිහිපයක් මුදල් නොදී බලෙන් රැගෙන යාමක් සිදු වූ බවද පැවසුවා.    

එසේ රැගෙන ගිය ගෑස් ටැංකි කිහිපය බදුල්ල මහ රෝහල වෙත යැවීමට සූදානම් කර තිබුණු ගෑස් ටැංකි බවද කළමණාකාරිත්වය වැඩිදුරටත් සදහන් කළා.

එමෙන්ම රැගෙන ගිය ගෑස් සදහා මුදල්ද ලබා දී නොතිබුණු අතර ගෑස් ටැංකිය වෙනුවට හිස් ගෑස් ටැංකියද නැවත භාරදී නොතිබුණු බවත් පොලීසියට කල පැමිණිල්ලේ සදහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Rate this item
(0 votes)