March 29, 2024

දියණිය ඉදිරියේ මව මැරූ ආබාධිත සෙබළ පියාත් දිවිනසාගෙන

ඉබ්බාගමුව, පාන්ගොල්ල, රණවිරුගම ගම්මානයේදී සිය දියණිය ඉදිරිපිටදීම බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ සැමියෙකු ඉකුත් 04 වනදා රාත්‍රියේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 49 හැවිරිදි තිදරු මවක්.

ඝාතනය සිදු කළ පුද්ගලයා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ 51 හැවිරිදි ආබාධිත පුද්ගලයෙක්.

මෙම පවුල තුළ නිරන්තරයෙන් අඬදබර තිබී ඇති බවත්, ඒ හේතුවෙන් ඝාතනය සිදු කළ පුද්ගලයා පවුලෙන් වෙන්ව ජීවත් වී ඇති බවත් පොලිසිය පවසයි.

04 වනදා රාත්‍රී 10.30 ට පමණ නිවසට පැමිණි මෙම පුද්ගලයා බිරිඳ සමග ආරවුලක් ඇතිකර ගැනීමෙන් අනතුරුව ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව ද , එම නිවසට යාබදව පිහිටි පාළු නිවසක් තුළදී ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ ඔවුන්ගේ 16 හැවිරිදි දියණියක් නිවස තුළ සිටියදී බවත්, ඔහු විසින් බිරිඳට පිහි පහර එල්ල කර ඇත්තේ දියණිය ඉදිරිපිටදී බව ද පොලිසිය පැවසුවා.

සිය සැමියාගෙන් එල්ල වූ තාඩන පීඩන හේතුවෙන් වෙනත් ප්‍රදේශයක ජීවත්වෙමින් සිටි මියගිය කාන්තාව ඝාතනය සිදු වූ නිවසට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර බව ද අසල්වාසීන් ඒෂියන් මිරර් සමඟ පැවසුවා.

ගොකරැල්ල පොලිසිය ඝාතනය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 

Rate this item
(0 votes)