April 25, 2024

ෆාමසි වලට ඖෂධ දීම නවතී! මිල ඉහල යයි: මේ රෝගවලට ඖෂධ හිඟයක්

ඉදිරියේ දී රට තුළ අවශ්‍ය කරන ඖෂධ හිඟයක් ඇති වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද(09) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

පිළිකා රෝගවලට, ජලභීතිකාවට, සර්ප විසට, ෆිට් එකට භාවිතා කරන බොහෝ ඖෂධ රටේ හිඟ තත්ත්වයක් තිබෙන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ඉදිරි සති 2 

හෘද රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පවා මේ වන විට වෙළඳපොලේ නොමැති බව බවට ඔහු ප්‍රකාශ කළා.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවයි.

එහි සභාපති අජිත් තිලකරත්න මහතා කියා සිටියේ, මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි.

ඖෂධ මිල ඉහළට

ප්‍රමුඛතාව අනුව රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොර ව ආනයනයට රජය පියවර ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඖෂධ සැපයීම්, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියා.

මේ අතර, නුදුරේ දී ම ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

ඊයේ(08) සිට ඖෂධ ආනයනය කරන සමාගම් ඔසුසැල් වෙත ඖෂධ බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පෞද්ගලික උසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ප්‍රකාශ කළේ.

මිල පාලනය ඉවතට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීමට ඉඩ හැරීම නිසා ඩොලරයේ අගය ඉහළ යාම මීට හේතු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ඖෂධ ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75ක් සදහා පනවා ඇති මිල පාලනය ද ඉවත් කළ යුතු බවයි.

එමනිසා වහාම ඖෂධ මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ආනයනකරුවන් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලා තිබෙනවා.

මේ පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා සමග අද (09) දිනයේ සාකච්ඡා කිරීමටද ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සූදානමින් සිටිනවා.

රජයේ රෝහල්වලත් බේත් නෑ

ඖෂධ ආනයනකරුවන් ආනයනය නතර කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ඖෂධද නොලැබෙනු ඇතැයි ආනයනකරුවන් කියා සිටිනවා.

මිල වැඩි කිරීමට අදාළව මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා සඳහන් කළා.

ඒ අනුව මෙම සතියේදී හෝ ලබන සතියේ ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා සදහන් කළේ.

ඖෂධ ආනයනකරුවන් විසින් වාර්ෂිකව ඖෂධ වර්ග 4000 ක් පමණ මෙරටට ආනයනය කරයි. ඉන් බහුතරය බෝ නොවන රෝග සඳහා භාවිත කරන ඖෂධ වනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2022 13:54