March 28, 2024

හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රියංගනීත් ශ්‍රීලනිපයට ටටා බායි කියයි: චන්ද්‍රිකා පාර්ශවයට යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වී තිබෙන බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරනවා.

එම තනතුරින් පමණක් නොව මතුගම ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක ධුරයෙන්ද ඇය ඉල්ලා අස් වූ බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුල් වරට පාර්ලිමේන්තුවට

සිය පියාගේ ඝාතනයත් සමඟ දේශපාලනයට පිවිසි ඇය 1994 පොදු පෙරමුණ නියෝජනය කරමින් මුල්වරට කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වූවා.

එහිදී එම ආණ්ඩුවේ ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඇයට නියෝජ්‍ය ඇමති ධූරයක්ද පිරිනැමුවා.

වත්මන් බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි , සුමේධා ජයසේන , නිරුපමා රාජපක්ෂ , අභාවප්‍රාප්ත ශ්‍රීමනි ඇතුලත්මුදලි , හේමා රත්නායක යන මහත්මියන්   ඇයගේ සමකාලීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්.

සභාපති හා මහ ලේකම්

ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ශ්‍රී.ල.නි.ප යේ ප්‍රතිපත්තීන් කඩ කරන බවටයි ඇය චෝදනා කරන්නේ.

2019 දී ඔවුන් දෙපළ පොදුජන පෙරමුණ සමග එකතු වීමට ශ්‍රී.ල.නි.ප යට බලපෑම් කළ බව පෙන්වා දෙන අබේවීර මහත්මිය ඉකුත් මාර්තු 2 දා හිටපු ඇමතිවරුන් වන විමල් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ප්‍රමුඛ පිරිස සමඟ අත්වැල් බැඳ ගත් බවත් සඳහන් කරනවා.

එම තීන්දුව නියම ශ්‍රී ලංකා කාරයෝ පිළි නොගන්නා බවයි ඇයගේ මතය වන්නේ.

සිරිසේන හා ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුව විවේචනය කරන බව මේ අවස්ථාවේ පෙන්නුම් කලත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී යළිත් පොදු ජන පෙරමුණටම සහය දෙන බවටත් ඇය චෝදනා කරනවා.

නව ලංකා නිදහස් පක්ෂය

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව අබේවීර මහත්මිය මහත්මියද ජීවන් කුමාරතුංග මහතා මෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට නියමිතයි.

එම පක්ෂයේ නායකයා වෙල්ගම මහතා වුවත් එම පක්ෂයේ පිටුපස සිටින්නේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

ජීවන් කුමාරතුංග මහතාද මීට ටික දිනකට පෙර ශ්‍රීලනිපයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී නව ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2022 14:11