April 24, 2024

බාලවයස්කාර දැරියන්ට අමුතු පාඩමක් ඉගැන්වූ ග්‍රාම නිලධාරිගේ වැඩ තහනම් - කලින්ම ජනතාව දිසාපතිටත් දන්වලා

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු හට ලිංගික අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස් වූ අම්බලන්තොට ජංසගම වසමේ සේවය කරනු ලැබූ ග්‍රාම නිලධාරීවරයාගේ වැඩ තහනම් කළ බව ඒ පිළිබඳව කළ විමසීමකදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා කියා සිටියා.

ලිංගික අතවරයට ලක්ව තිබෙන බවට සැක කෙරෙන  බාලවයස්කාර දැරියන් දෙදෙනා විසින් පොලිසියට ලබාදී තිබෙන කටඋත්තර හා පොලිසිය විසින් මෙතෙක් සිදුකර තිබෙන පරීක්ෂණවලින් තහවුරු වන බරපතල තත්වය හේතු කොටගෙන අදාල ග්‍රාම නිලධාරීවරයාගේ වැඩ තහනම් කළ බව ද සුමනසේකර මහතා කියා සිටියා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මූලික පරික්ෂණ කටයුතු අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා මගින් සිදු කොට පසුව පරීක්ෂණ කටයුතු කොළඹට භාරදෙන බවයි.

අදාළ ග්‍රාමනිළධාරිවරයා පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමට සිය නිවසට ගෙන්වා ගත් බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර හා අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැක පිට පසුගිය 02 වනදා අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ නමුත් අදාළ ග්‍රාම නිලධාරිවරයා පසුගිය 03 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබෙනවා.

නමුත් අදාළ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විසින් මීට පෙර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරිනියන් දෙදෙනෙකු  දැනුවත් කර තිබුණ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඔහු සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගැනීමට එම නිලධාරිනියන් දෙදෙනා කටයුතු නොකළ බවත් අදාළ නිලධාරිනියන් දෙදෙනා මෙම ග්‍රාම නිලධාරීවරයා හට රැකවරණය ලබා දීම පමණක් සිදු කළ බව ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් කියා සිටිනවා. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් විසින් ලිඛිතව තැපැල් මගින් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු මාධ්‍යවේදීන් සිවිල් සංවිධාන සඳහා දැනුම්දුන් බව ද ප්‍රදේශයේ ජනතාව පවසා සිටිනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප කළ විමසීමකදී දිස්ත්‍රික් ලේකම්තුවරයා කියා සිටියේ තමන් හට එවැනි ලිපියක් ලැබී නොමැති බවයි.

ප්‍රදේශවාසින් විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට යවන ලදැයි සැලකෙන ලිපියේ පිටපත පහතින්,

සබැඳි පුවත් - බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට

Rate this item
(0 votes)