April 24, 2024

"මුළු රටම හරි මගට" ගැන ශ්‍රීලනිපය දෙකට බෙදෙයි: ප්‍රබලයන් දෙදෙනකුගේ විරෝධය

දේශපාලන පෙරළි රැසකට මග කැපූ "මුළු රටම හරි මගට" ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රති විරෝධතා මතුව තිබෙන බව වාර්තා වනවා.

ඉකුත් 2 වැනි දින එම ප්‍රකාශනය ජනගත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.පය සමඟ එහි නිර්මාතෘවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මුණ ගැසී සාකච්ඡා කොට තිබෙනවා.

පක්ෂ නායකයාට විරෝධය

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.

එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ හිටපු ජනපති, ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සිරිසේන මහතා "මුළු රටම හරි මගට" ප්‍රකාශනය සම්බන්ධයෙන් කරුණු දක්වද්දී ඊට ශ්‍රී.ල.නි.පයේ ප්‍රබලයන් දෙදෙනකු ප්‍රසිද්ධියේම විරුද්ධ වූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ධූරය දරන ලසන්ත අලගියවන්න යන මහත්වරුන්.

ප්‍රශ්න කිරීම

ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන එම දෙපළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ කණ්ඩායම සමග කතා කරන්න අවසරය දුන්නේ කවුරුන් දැයි ප්‍රශ්න කර තිබෙනවා.

එතනින් නොනැවතුණු ඔවුන් දෙපළ පක්ෂ නායකයාට හා මහ ලේකම්වරයාට අවශ්‍ය දේවල් කිරීමට ඉඩ දිය නොහැකි බවත් සඳහන් කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

එහෙත් "මුළු රටම හරි මගට" ප්‍රකාශනය එළි දක්වන අවස්ථාවට දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වී සිටි අයුරු දක්නට ලැබුණා.

අභ්‍යන්තර ගැටුම

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක කණ්ඩායම සමග එකට වැඩ කටයුතු කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින්නේ ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

ඔහු සමග ඉහත නම් සඳහන් රාජ්‍ය ඇමතිවරුන් දෙපළ හා මහින්ද අමරවීර අමාත්‍යවරයා දිගු කලක සිට ගැටුමක නිරතව සිටින බව ප්‍රසිද්ධ කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 March 2022 07:11