April 20, 2024

යුගදනවි පෙත්සම ඉවතට

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට හතළිහක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් විභාගයට නො ගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී.බී දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඒකමතිකව ලබා දී තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නො කිරීමට අධිකරණය තීරණය කළ බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් 5 විභාගයට නො ගෙන ප්‍රතික්ෂේප කරන බවත් අගවිනිසුරුවරයා නිවේදනය කළා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා සහ වසන්ත සමරසිංහ මහතා, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ, කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් සියයට 40ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

Rate this item
(0 votes)