April 20, 2024

රට ලොකු අර්බුදයක! ඩීසල් නෑ - ප්‍රවාහනය අඩපණයි Featured

February 23, 2022

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව මේවන විට ඩීසල් තොග නොමැති බව වාර්තා වනවා.

ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් සහිත නෞකාව මෙරටට ළගාවී දින තුනක් ගතවී තිබුණා.

එහි ඇති ඩීසල් තොගය ලබාගැනීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

පෙට්‍රල් ඇත්තේ දින කිහිපයකටයි

ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ද එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

සෙනසුරාදා ළගාවූ පෙට්‍රල් නෞකාවේ තොගය ලබාගැනීමට හැකිවීම නිසා දින කීපයකට පෙට්‍රල් තොග ඇති බවද එම සමාගමේ ආරංචි මාර්ග පැවසුවා.

සාමාන්‍ය කාලයකදී මාසකට ඉන්ධන නෞකා පහක් හෝ හයක් ළගා බවත් වාර්තා වනවා.

ඉන්ධන පෝලිම්

කෙසේ වෙතත් පෙට්‍රල් ලබාගැනීමට ද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි බවයි ඒෂියන්  මිරර් වාර්තාකරුවන් පැවසූවේ.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා.

රට පුරා ඉන්ධන පිරවුම්හලවල ඊයේ (22) පෙරවරුව වන විට ඩීසල් නොමැති තත්වයකට පත්ව තිබුණා.

ප්‍රවාහනය අඩපණයි

මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළු සේවාවන් රැසක් අඩපණ වන තත්වයකට පත්ව තිබුණා.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේ රටේ ඇතිව තිබෙන ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 250ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද පවතින බව ඔහු පෙන්වා දුන්නා.

දුර ගමන් බස් අඩුයි

ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් මගීන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්ව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමන වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ ධාවනය වන අතර කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉන් මේ වන විට ධාවනය වන්නේ 2000 ක පමණ ප්‍රමාණයක්.

මෙම තත්වය දිගටම පැවතුනහොත් බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී මගීන් දැඩි අසීරුතාවයට මුහුණදීමට සිදුවනු ඇති බවත් බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ.

දුම්රියට ගැටලුවක් නෑ

මේ අතර ඩීසල් හිඟය හේතුවෙන් දුම්රිය ධාවනයටද බාධා මතුව තිබෙනවාද යන්න අප සොයා බැලුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසූවේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අවශ්‍ය තරම් ඩීසල් තොග තිබෙන බවයි.

ඒ හේතුවෙන් ඩීසල් හිඟය දුම්රිය ධාවනයට බලපෑමක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉදිරි කාලය සඳහා විශාල ඉන්ධන සංචිතයක් ඇති බව ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

ඉන්ධන පිළිබඳව ගැටලුවක් මේ දක්වා මතුවී නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා. 

කෙසේ වෙතත් ඩීසල් අර්බුදය හේතුවෙන් රටේ ප්‍රවාහනය ක්‍රියාවලිය බිඳ වැටීමට ලක් වුවහොත් දෛනික මගී ප්‍රවාහන කටයුතු මෙන්ම භාණ්ඩ බෙදාහැරීමේ කටයුතුද අඩපණ වීමෙන් විශාල ආර්ථික අර්බුදයකට රට පත් වන බවට පැහැදිලි කරුණක්.

Rate this item
(1 Vote)