April 20, 2024

රජයේ දේපළ බද්දෙන් බද්දට දීලා! රජයට කෝටි ගණනක මුදලක් අහිමි වෙයි (PHOTOS)

February 21, 2022

හික්කඩුව පුරවරය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රචලිතව තිබෙනවා.

ප්‍රදේශවාසීන්ට අනුව ලංකාවේ පැරණිම සංචාරක පුරවරය ලෙස හික්කඩුව සඳහන්.

1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත යටතේ 1987 ඔක්තෝබර් 30 වන සිකුරාදා අංක 478 ගැසට් පත්‍රය අනුව හික්කඩුව සංචාරක කලාපයක් ලෙස නම්කර තිබෙනවා.

මධ්‍යස්ථානයේ ඉදි කිරීම

ඒ නිසාම මෙම සංචාරක පුරවරයට සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය බෙහෙවින් දැනෙන කාරණයක්.

මේ සඳහා ගැලපෙන ඉඩමක් ද ලැබී තිබූ බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා. එම ඉඩම වූයේ 2004 සුනාමි ව්‍යසනයේදී විනාශ වූ හික්කඩුව කුමර විදුහල පැවති භූමියයි.

ඉතා ඉහළ වානිජ වටිනාකමකින් යුක්ත වූ මෙම ඉඩමේ හික්කඩුව අභිමංසල ගොඩනැගිල්ල හෙවත් හික්කඩුව සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ගොඩනැගීමට කටයුතු කර තිබුණා.

ගොඩනැගිල්ල පිහිටීම සහ වියදම ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වවුලගොඩ ග්‍රාම නිළධාරි වසමේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි මෙම ඉඩම හෙක්ටයාර 0.2537 ක භූමි ප්‍රමාණයකින් යුක්තයි.

ඉදිකිරීම් නතර වෙයි

හික්කඩුව නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම ඉඩම ඉතා අධික වානිජ වටිනා කමකින් යුක්තය. මෙම ඉඩමේ හික්කඩුව අභිමංසල ගොඩනැගිල්ල ඉදිකිරීම 2010 වසරේදී ආරම්භ කර තිබුණා. එහි මුළු ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 800 ක්.

2014 වසර දක්වා ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී නතර වන්නේ බිම් මහල පමණක් (එයද නිසි පරිදි වැඩ නිමවී නැත) යන්තමින් අවසන් කරමින්ය.

බිම් මහල අවසන්ක් කිරීම සඳහා වියදම් වූ මුලු මුදල පහතින්,

2010 වර්ෂය රුපියල් 5,654,247.72
2011 වර්ෂය රුපියල් 19,252,197.79
2012 වර්ෂය රුපියල් 1,680,904.47
2013 වර්ෂය රුපියල් 10,460,776.41
2014 වර්ෂය රුපියල් 10,674,030.11

ඒ අනුව එහි මුලු වියදම රුපියල් 47,722,156.50ක් ලෙස දැක්වෙනවා.

ගොඩනැගිල්ලේ සැලැස්මට අනුව මෙය බිම් මහළ, පලමු මහළ සහ දෙවන මහළ ලෙසද සැලසුම් කර තිබූ අතර මෙහි ශ්‍රවනාගාරයක් පුස්තකාලයක්, සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක්, බැංකු පද්ධතියක්, රථගාලක් ඇතුලත් වී තිබුණි.

භූමියේ අයිතිය ගැන අවුලක්

පුදුමයට කාරණය වන්නේ මේසා විශාල වියදමක් දරා ඉදි කිරීම් ආරම්භ කලද එහි භූමියේ අයිතිය රුහුණු සංචාරක කාර්යාංශය සතුව නොතිබීමයි. එම ඉඩමේ හිමිකම පවතින්නේ හික්කඩුව ප්‍රාදේශිය ලේකම් සතුවයි.

මේ වනවිටත් අදාල භූමිය සඳහා රුහුණු සංචාරක කාර්යාංශය මගින් හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට බදු ගෙවීමේ පදනම මත ලබා දී තිබෙනවා. එයද පැවරෙන්නේ වර්ෂ 2016.10.05 දින හික්කඩුව ප්‍රාදේශිය ලේකම් විසින් රුහුණු සංචාරක කාර්යාංශය වෙත කරනු ලැබූ ලිපියක් මගින්.

ඉන් අනතුරුව මෙම ගොඩනැගිල්ල පිළිබඳව නැවත කතාබහට ලක්වන්නේ මෙම ගොඩනැගිල්ල නැවත පෞද්ගලික ආයතනයකට බදු දීමත් සමගයි. ටෙන්ඩර් කැදවීමකින් තොරව ලබාදී ඇති මෙම ගොඩනැගිල්ල බදු ගැණුම්කරු වන්නේ ගම්පහ ඉහලගම අංක 38 ඒ ස්ථානයේ පිහිටි සිල්ක් රෝඩ් බීච් රිසෝට් නම් පුද්ගලික ආයතනයක්. බදු දීමනාකරු ලෙස රුහුණු සංචාරක කාර්යංශය සහ එහි නාමිකයන් සහ අනුප්‍රාප්තිකයන්ය.

වසර 30කට බදු දීලා

බදු ගිවිසුමට අනුව වර්ෂ 2016 අප්‍රේල් මස 05 වන දින සිට වර්ෂ 2046 අප්‍රේල් මස 04 වනදා දක්වා වසර 30ක් ඇතුලත් වෙනවා. වර්ග මීටර් 1157.65 වන මෙම ගොඩනැගිල්ල බදු දී ඇත්තේ වසරකට රුපියල් 4,200,000 ක මුදලකටය. මාසිකව බැලුවොත් රුපියල් 350,000 ක් වැනි මුදලකටය.

හික්කඩුව නගරයේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් යුත් ප්‍රදේශයේ ද වර්ග මීටර් 10 ක ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් මාසික බදු මුදල රුපියල් 60,000 ත් 70,000 ත් අතර මුදලක් වේ. මෙහිදී ද රජයට විශාල මුදලක් අහිමි වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව සහ පසුව ඇතිවූ නීති විරෝධී ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබූ කිසිදු නිළධාරියෙකු මේ වනවිට රුහුණු සංචාරක කාර්යාංශයේ සේවයේ නොයෙදෙන අතර ඔවුන් ඉවත්වී තිබෙන්නේ සමහර තොරතුරු සහ ලියකියවිලි ද අතුරුදහන් කරමිනි. එබැවින් මේ ගනුදෙනුවලට අවශ්‍ය සමහර තොරතුරු ලබා ගැනීමද දුෂ්කර වී තිබෙනවා.

රජයේ දේපළ බද්දෙන් බද්දට දීලා

මේ වන විට මෙම බදු ගැණුම්කරු විසින් අදාළ ගොඩනැගිල්ල වෙනත් පාර්ශ්වයන් දෙකකට වරින් වර ලබාදී ඇති අතර මේ වනවිට එම අවසන් පාර්ශවය විසින් අවන්හලක් සඳහා බදු දී තිබෙනවා.

මෙය බද්දෙන් බද්ද දීමක් වන අතර ඒ සම්බන්ධයෙන් රුහුණු සංචාරක කාර්යාංශය කිසිදු දැනුවත් බාවයක්න් නොමැත. රජයේ දේපළ බද්දෙන් බද්ද දීම නොහැකි වන අතර එය පැහැදිළිවම රජයේ දේපළ අවභාවිතා කිරීමක් සහ
රජයට ලැබිය යුතු මුදල නොලැබී යාමකි.

මෙහි භූමිය තුල ඇති රථ ගාල රජයට විශාල ආදායමක් ලැබිය හැකි ව්‍යාපෘතියක්. එයද අත් හැර දමා ඇති අතර ප්‍රදේශවාසීන් කීපදෙනෙක් තමන්ට රිසි අයුරින් මුදල් එකතුකිරීම කරමින් සිටියි. මෙයින්ද රජයට ලැබිය යුතු විශාල අදායමක් අහිමි වී තිබෙනවා.

නව ගිවිසුමක්

කෙසේ නමුත් මේ වනවිට ගැණුම්කාර පාර්ශවය විසින් රුහුණු සංචාරක කාර්යාංශය වෙත ගෙවිය යුතු බදු මුදල ගෙවීම පැහැර හැර ඇති අතර එය රුපියල් ලක්ෂ 115ක්. 

මේ වන විට රුහුණු සංචාරක කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා විසින් 2021.10 .08 වන දින සිල්ක් රෝඩ් බීච් රිසෝට් පුද්ගලික සමාගමට දන්වා ඇත්තේ 2021.10.01 දින සිට දින 45 ක කාලයක් තුල අයවිය යුතු සියලු මුදල් ලබා දෙන ලෙසත්, බදු ගිවිසුමට අදාල සියලු දේපළ රුහුණු සංචාරක කාර්යාංශයට බාර දෙන ලෙසත්ය.

එමෙන්ම ඒෂියන් මිරර් කළ විමසීමකදී වත්මන් සභාපතිවරයා ප්‍රකාශකර සිටියේ නව පාර්ශ්වයක් සමඟ නව ගිවිසුමකට එළැඹීමට කටයුතු කරමින් සිටින බවයි.

හික්කඩුව - බුද්ධික වීරසිංහ 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 12:39