March 28, 2024

මේ විදිහට මැරුණොත් වන්දියක් දෙන්නේ නෑ! රජයෙන් අවවාදයක්!

February 19, 2022

යම්කිසි ස්ථානයක අවදානම් බව පිළිබඳ නොතකා, නොසැලකිලිමත් ආකාරයෙන් දිය නෑමට යාමෙන් දියේ ගිලී සිදුවන මරණ සම්බන්ධ වගකීමක් දැරීමට නොහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එනිසා එවැනි මරණ ආපදාවක් සේ සැළකිය නොහැකි බවත්, එබැවින් එම මරණ සම්බන්ධයෙන් වන්දි ලබා දීමට සිය ආයතනයට නොහැකි බව යි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පසුගිය දා මේ බව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිය නෑම සඳහා සුදුසු අනුමත ස්ථානවල පමණක් ජීවිත ආරක්ෂකයින් රඳවා ඇති බව යි.

එමෙන්ම දිය නෑමට නොසුදුසු ස්ථාන බොහොමයක අනතුරු ඇඟවීමේ පුවරු ද සවිකර ඇති බව ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවාසීන් විසින් වානිජ අරමුණු මත ඇතැම් අනතුරු ඇඟවීම් පුවරු ගලවා දැමීමට කටයුතු කර ඇති බව ද රණසිංහ මහතා පැවසුවා.

දියේ ගිලීමෙන් සිදුවන මරණවලින් බොහොමයක් බීමත්කම සහ නොසැලකිල්ල හේතුවෙන් වාර්තාවන බව ඒ මහතා පෙන්වා දෙනවා.

දිය නාන සෑම ස්ථානයකම ජීවිත ආරක්ෂකයන් රැඳවීම හෝ පොලීසිය යොදවා නිරන්තර දැනුවත් කිරීම් සිදුකිරීම ප්‍රායෝගික නොවන බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගිය වසරේ ඔක්තෝබර් අවසන් සතියේ සිට නොවැම්බර් පළමු සතිය දක්වා පමණක් දියේ ගිලීම් 25 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 February 2022 10:37