April 19, 2024

උණ රෝගය ඇති සියළු දෙනාට විශේෂ දැනුම්දීමක්

February 18, 2022

උණ රෝගී තත්ත්වයක් හටගතහොත් වහාම වෛද්‍යවරයෙකු කරා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව වෙත නිවේදනය කරනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ උණ රෝගී තත්ත්වයක් ඇත්නම් එය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමක් විය හැකිවනවා සේම ඩෙංගු රෝගී තත්ත්වයක් ද විය හැකි බව යි.

එමෙන්ම විදෙස්ගත වී පැමිණිය අයෙකුට උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් එය මැලේරියාව වීමේ අවදානම පවා තිබෙන බව යි හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නේ.

උණ රෝගී තත්ත්වය ඉහත කී තත්ත්ව නොව සාමාන්‍ය වෛරස් උණ රෝගී තත්ත්වයක් ද විය හැකිවන නමුත්, මේ මොහොතේ දී තමන්ට වැළඳී ඇත්තේ කුමනාකාරයේ උණ රෝගී තත්ත්වයක් දැයි සැක හැර දැනගැනීම ඉතා වැදගත්වන බව ඔහු සඳහන් කළා.

තමාට වැළඳී ඇති උණ තත්ත්වය කුමක්දැයි හඳුණාගැනීම තමන්ගේ ආරක්ෂාවට මෙන්ම අන් අයගේ ආරක්ෂාවට ද වැදගත් බව හේරත් මහතා අවධාරණය කොට සිටියා.

එබැවින් උණ රෝග ලක්ෂණ පවතින සියළු දෙනා අප්‍රමාදව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු යොදන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා.

තමන්ට වැළඳී ඇති උණ තත්ත්වය පිළිබඳ තමාම උපකල්පනය කර සුළු ප්‍රතිකාර කරමින් නිවසේ රැඳී සිටීම ද සිදු නොකරන ලෙස යි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය නම්, එය නිධන්ගත රෝග සහිත පුද්ගලයින්ට සහ වයස්ගත පුද්ගලයින්ට දරුණු සංකූලතා ඇති වීමේ හේතුවක් විය හැකි බව ද හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

මේ අතර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉතා දරුණු ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා අනාවරණය කරන්නේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී පමණක් 9,500 ඉක්මවා ගොස් ඇති බව යි.

මෙම තත්ත්වය මත උණ සහ ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවන ලෙස ඔහු අවධාරණ කළා.

උණ රෝගී තත්ත්වය හට ගත් පළමු දිනයේ හෝ දෙවැනි දිනයේ දී එලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතු බව ඔහු ප්‍රකාශ කරනවා.

විශේෂයෙන් ඩෙංගු ව්‍යාප්තිය සුලබව පවතින ප්‍රදේශවල වාසය කරන උණ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම ඉතා වැදගත් බව යි ඔහු පෙන්වා දුන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 February 2022 08:39