April 19, 2024

ගිය සතියට වඩා මේ සතිය දරුණුයි! දත්ත හෙළි වුණේ මෙහෙමයි!

February 10, 2022

තත්ත්වය තවත් දරුණු අතට

මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන පසුගිය සතියට සාපේක්ෂව 35%ක ඉහළ යාමක් පෙන්වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

එමෙන්ම කොවිඩ් මරණ ගණන ද 15%ක ඉහළ යාමක් සිදුව ඇති බව යි අනාවරණය වී ඇත්තේ.

පසුගිය දින 05ක කාලය තුළ දී පමණක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 148ක් බව සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත සඳහන් කරනවා.

එම දින 05 ඇතුළත හඳුණාගත් ආසාදිතයින්ගේ ගණන 6432ක් බවට පත්ව ඇත්තේ හඳුණා නොගත් ආසාදිතයින්ගේ ගණන අති විශාල සංඛ්‍යාවක් විය හැකි බවට සෞඛ්‍ය අංශ සැක පළ කරන පසුබිමක යි.

මේ අතර කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා අනාවරණය කරන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර ඒකක වෙත යොමු කොට ඇති රෝගීන්ගේ සංඛ්‍යාවෙහි ද 4%ක වර්ධනයක් නිරීක්ෂණයවන බව යි.

එමෙන්ම රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 7000ක් පමණවන බවත්, නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුව ඇති ගණන 3000ක් පමණවන බවත් ඔහු පවසනවා.

ලොකුම ගැටළුව

මේ අතර සමාජය තුළ සිටින රෝග ලක්ෂණ රහිත ආසාදිතයින් වෛරසය පතුරවමින් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම මේවන විට ප්‍රමුඛ වී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය “සැර අඩු” බව සඳහන් කරමින් බොහෝදෙනෙකු කොවිඩ් 19 වසංගතය නොසලකා හැර සිටින බව ද ඔහු සඳහන් කළා.

මේවන විට හටගෙන ඇති බරපතලම තත්ත්වය එය බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

කොවිඩ් පරීක්ෂණ අඩු කරයි

දිවයින තුළ කොවිඩ් ආසාදිතයින්ගේ ගණනෙහි දරුණු ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ, ආසාදිතයින් හඳුණාගැනීමට භාවිත කරන ක්ෂණික ප්‍රතිදේහ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් රට තුළ හටගෙන ඇති පසුබිමක යි.

එහි ප්‍රතිඵලයක් ලෙස ආසාදිතයින් හඳුණා ගැනීම සඳහා දෛනිකව සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රතිශතය ද බොහෝ සෙයින් අඩු වී ඇති බව අප වෙත වාර්තා වූවා.

එය තහවුරු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබෙන්නේ අත්‍යාවශ්‍ය මොහොතක දී පමණක් කොවිඩ් 19 ආසාදිතයින් හඳුණාගැනීමේ පරීක්ෂණ සිදු කරන ලෙසට යි.

එමෙන්ම ආසාදිතයින් හඳුණාගැනීම සඳහා කැම්බල් පාක් ඇතුළු ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබූ පරීක්ෂණ මධ්‍යස්ථාන ද වසා දමා ඇති බව වාර්තා වූවා.

සංඛ්‍යාලේඛණ තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවට හඳුණාගෙන ඇත්තේ සිදුකරන සුළු පරීක්ෂණ ප්‍රමාණය හරහාවන අතර සැබෑ ආසාදිතයින් ප්‍රමාණය ඇදහිය නොහැකි සංඛ්‍යාවක් ද විය හැකි යි.

පරීක්ෂණ මේ අයට පමණයි

සෞඛ්‍ය අංශ වෙත ලැබෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ප්‍රමාණයේ දරුණු පහළ වැටීමක් මෙලෙස සිදුව ඇති පසුබිමක කොවිඩ් ආසාදිතයෙකුදැයි පරීක්ෂා කොට හඳුණාගැනීම සිදු කළ යුත්තේ සමාජයේ කුමන පුද්ගලයින් සඳහා ද යන්න පිළිබඳ සීමා පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කොට ඇත්තේ පුදුම සහගත ලෙස යි.

මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියළුම රෝහල්වලට සහ සෞඛ්‍ය සේවකයන් වෙත විශේෂ චක්‍රලේඛයක් යොමු කොට ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත ද යන්න ක්ෂණිකව හඳුණාගැනීමට අවශ්‍යවන අවස්ථාවන්හීදී පමණක් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට යි සෞඛ්‍ය අමාත්‍යංශය එම චක්‍රලේඛයට අනුව උපදෙස් ලබා දී ඇත්තේ.

තමන්ට කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ, තමන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට හඳුණාගත් මොහොතක දී තමන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරගැනීමට මෙරට පුරවැසියන්ට තිබුණු අවස්ථාව මින් මග නොහැරෙන්නේ ද යන්න ගැටළුවක්.

ජීවිත අවදානමේ

මේ හරහා තමන් ආසාදිතයෙකු බව නොදැන සමාජයේ සැරිසරන ආසාදිතයින් ප්‍රමාණය අතිශය වැඩිවීම හරහා මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශවලට නොපෙනීම සැබැවින් විමතියට කරුණක් වනවා.

තව ද තමන් ආසාදිතයෙකු බව නොදැන තමන්ට ඇත්තේ සුළු සෙම් රෝගී තත්ත්වයක් හෝ සාමාන්‍ය උණ රෝගී තත්ත්වයක් බව සිතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන ජනතාව සිටින්නේ ජීවිත අවදානමක නොවෙයි ද?

ඇත්ත රෝගීන් ගණන, දත්තවලින් පෙනෙන රෝගීන් ගණනට වඩා වැඩි බව මීට පෙර ද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම තීරණය හරහා සමාජය තුළ හඳුණා නොගත් රෝගීන් ගණන මේවන විටත් ඉහළ ගොස් තිබෙන බව නොරහසක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 07:41