April 24, 2024

ගෝඨාට ඇඟ කිළිපොලායන ඉල්ලීමක්!

February 09, 2022

ගෝඨා තුළ සැඟවුණු හිට්ලර්

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒමේ දී ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ හිට්ලර් වැනි නායකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

එහෙත් රාජපක්ෂ මහතා එලෙස කටයුතු නොකොට නිහතමානී ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම අරමුණු කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව යි ඔහු අනාවරණය කරන්නේ.

කෙසේ වෙතත් මේවන විට රටෙහි පවතින තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ සැඟවී සිටින චරිතය එළියට ගත යුතු බව කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

එම සැඟවුණු චරිතය එළියට ගෙන කෙටිකලකට හෝ මෙරට දරදඬු පාලනයක් පවත්වාගෙන යා යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

භයානක ඉල්ලීමක්

වඩාත් විශේෂ කරුණ වන්නේ පසුපෙළ මන්ත්‍රීවරු විසින් මෙම අදහස් සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ද පුද්ගලිකව ඉදිරිපත් කර ඇති බවට කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පැවසීම යි.

ඊයේ (08) ජනාධිපති මන්දිරයට ගොස් තමන් ඇතුළු පිරිස මෙම ඉල්ලීම් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව යි ඔහු කියා සිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (08) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අතරතුර දී.

හිට්ලර්ට යළි පණ දීම

ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් වැනි චරිතයක් විය යුතු බවට ප්‍රථමයෙන්ම ඉල්ලීමක් ඉදිරිපත් වූයේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන්ගෙන්.

2018 වසරේ දී ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව පැවැති දානමය පුන්‍යකර්මයක් අතරතුර උන්වහන්සේ ප්‍රකාශ කළේ “ඉතින් අපි මතක් කරනවා.. හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ.. ඔබතුමාත් මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා” යනුවෙන්.

උපාලි හිමිගේ එම ප්‍රකාශයට විවිධ පාර්ශවවලින් දැඩි විවේචන එල්ල වූ අතර පසුව සිය ප්‍රකාශය පිළිබඳ පැහැදිළි කරමින් නිවේදන පවා නිකුත් කිරීමට උන්වහන්සේට සිදු වූවා.

එමෙන්ම පසුගිය වසරේ මැද භාගයේ දිලුම් අමුණුගම අමාත්‍යවරයා ද ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ඒකාධිපති පාලනයක් සිදු කරාවි යි ජනතාව බලාපොරොත්තු වූ බව යි.

එම නිසා ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු නොවීම මත ජනතාව ඔහුව විවේචනය කරන බව අමුණුගම මහතා ප්‍රකාශ කොට සිටියා.

එහි දී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා යම් ආකාරයක හිට්ලර් කෙනෙකු ලෙස ක්‍රියාත්මක විය යුතුය යන්න, ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දුන් හැටනමලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව බව යි.

සැබෑ හිට්ලර් හඳුනාගමු!

ඇඩොල්ෆ් හිට්ලර් යනු ජර්මනියේ බිහි වූ කුරිරු, ජාතිවාදී ඒකාධිපති පාලකයෙකු වනවා.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට ඔහුගේ පාලනය මූලික වූවා.

යුදෙව් ජාතිකයින් යුරෝපයෙන් තුරන් කිරීම ඔහුගේ මූලික අරමුණක් වූ අතර ඒ සඳහාම ඔහු වධකාගාර විශාල ප්‍රමාණයක් විවෘත කරනු ලැබුවා.

එම වධකාගාර තුළ දී කුඩා දරුවන් ඇතුළු යුදෙව් ජාතික පවුල් ලක්ෂ ගණනක් වධ හිංසාවන්ට ලක් කොට සමූල ඝාතනය වූයේ අතිශය කෘෘර ආකාරයට යි.

යුදෙව් ජාතිකයින් පමණක් නොව අනෙකුත් ජනවර්ග ද හිට්ලර් අතින් ඝාතනය වූ අතර එහි දී සමූල ඝාතනයට ලක් වූ වැසියන්ගේ ගණන අදවන විටත් නිවැරදිව ගණන් බලා නැහැ.

එමෙන්ම සමාජයට බරක් බව පවසමින් ආබාධිත පුද්ගලයින් ද ඝාතනය කළ යුතු බවට වූ අදහස් සිය න්‍යාය ධර්ම තුළට ඇතුළත් කිරීමට තරම් හිට්ලර් කෘෘර පුද්ගලයෙකු වූවා.

ආබාධිත වූ වරදට හිට්ලර්ගේ පාලනය හරහා ඝාතනය වූ ගණන දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ වනවා.

එමෙන්ම යුදෙව් ජාතිකයින් මිලියන 6ක් පමණ, සෝවියට් වැසියන් මිලියන 6ක් පමණ හිට්ලර්ගේ පාලනයෙන් ඝාතනය වූ අතර තවත් මිලියන ගණනක වෙනත් ජනවර්ග ඔහු නිසා මරණයට පත් වූවා.

එමෙන්ම ඔහු නිසා හටගත් දෙවැනි ලෝක යුද්ධය හරහා ද සාමාන්‍ය ජනතාව මෙන්ම සෙබළුන් ද විශාල පිරිසක් මියගියා.

දෙවැනි ලෝක යුද්ධය වසර 6ක් පුරා ක්‍රියාත්මක වූ අතර එවකට ලෝක ජනගහනවෙන් 3%ක පමණ ජනතාවක් ඉන් මරණයට පත් වූ බව යි ගණන් බලා ඇත්තේ.

එම ගණන දල වශයෙන් මිලියන 85ක් පමණ වනවා.

හිට්ලර් නොදත් ළිං ගෙම්බෝ

යම් රාජ්‍ය නායකයෙකුට “හිට්ලර් කෙනෙකු වෙන්න” යැයි ඉල්ලීම් ඉදිරිපත් කරන කිසිවෙකු ඉහත ඉතිහාසය පිළිබඳ අංශු මාත්‍රයක හෝ දැනුමක් ඇත්තෙකු විය නොහැකි බව පැහැදිළි කරුණක්.

ඉතිහාසය පිළිබඳ දැනුමක් ඇතිව එවැනි ඉල්ලීමක් සිදු කරන්නේ නම් ලෙයින් තෙත්වන රටක් දැකීම එම පුද්ගලයාගේ අවශ්‍යතාව බවට උපකල්පනය කළ හැකියි.

කෙසේ වෙතත් ආගමික නායකයින් සහ මහජන නියෝජිතයින් මෙවන් ඉල්ලීම් සිදු කිරීම කිසි සේත් සුළු කොට තැකිය නොහැකි බව ද කිව යුතු යි.

එමෙන්ම මෙවන් ප්‍රකාශ හරහා නැවත නැවතත් ඔප්පු වන්නේ මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වන පුද්ගලයින්, ලෝක දේශපාලනය හෝ ඉතිහාසය පිළිබඳ කිසිදු දැනුමකින් තොර බව පමණක් නොව සාමාන්‍ය සාමාජීය දැනුමක් හෝ නොමැති පුද්ගලයින් බව යි.

එවන් පුද්ගලයින් රටෙහි නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක වීම හරහා වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ පුදුම නොවිය යුතු අතර රටෙහි අනාගතය පිළිබඳව ද ඉතිරි කරන්නේ අමිහිරි ප්‍රශ්නාර්ථයක්.

Rate this item
(6 votes)
Last modified on Wednesday, 09 February 2022 13:49

Related items