April 19, 2024

හදිසි මැතිවරණයකට සැළසුම්! ප්‍රචාරක වැඩත් ඇරඹෙයි! පිල්මාරුත් අත ළඟ!

February 07, 2022

මැතිවරණයක සැළසුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණයකට යාමේ සූදානමක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

දේශපාලන කරළිය තුළින් මෙම පුවත වාර්තා වෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ද මාධ්‍ය හමුවක් අතරතුර මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඉඟි ලබා දුන්නා.

ඔහු එහි දී ප්‍රකාශ කළේ ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්විය හැකි අතර, තමාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඒ සඳහා සූදානමින් පසුවන බව යි.

මොන ඡන්දෙ ද?

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් මෙලෙස පැවැත්වීමට සූදානම්වන බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ආණ්ඩු පාර්ශවයේ අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍ර ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වැඩි බව යි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම හා සම්බන්ධ නීතිමය ගැටළුකාරී තත්ත්වය මත එය නොපවත්වා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට යි එම තොරතුරු මූලාශ වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ද සඳහන් කළේ මෙම මස අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසර තෙක් වසරකින් දීර්ඝ කොට ඇති නමුත් එම ආයතනවල මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව යි.

පොහොට්ටු ප්‍රචාරක වැඩත් ඇරඹෙයි

මේ අතර ආණ්ඩුව පසුගිය දිනවල විවිධ වැඩසටහන් ආරම්භ කරන ලද්දේ ද පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කොට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

එන්නත්කරණයට වසරක් ගත වීම සමරමින්, කොවිඩ් මර්ධනය සාර්ථකව සිදු කළ බව කියමින් දිවයින පුරා උත්සව මාලාවක් සංවිධානය කිරීම සහ අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය ද මෙලෙස මැතිවරණය ඉලක්ක කොට ආරම්භ කළ ඒවා බවට යි වාර්තා වන්නේ.

අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහනට සමගාමීව ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා රැස්වීම් මාලාවක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබෙනවා.

මෙම රැස්වීම් මාලාවේ පළමුවැන්න අනිද්දා (09) අනුරාධපුරයෙන් ආරම්භ වීමට නියමිතව ඇති බව සඳහන්.

එය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැළසුම් කොට තිබෙන බව යි අප වෙත වැඩිදුරටත් වාර්තා වූයේ.

හිටපු ජනපතිගේ අනාවරණය

මෙවන් පසුබිමක මීලඟට පැවැත්වෙන ජාතික මැතිවරණය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අනාවරණයක් සිදු කළා.

පසුගිය සතියේ දී ඔහු එම අනාවරණය සිදු කළේ යූටියුබ් වැඩසටහනක් හා එක් වෙමින්.

ඔහු එහි දී සඳහන් කළේ මෙරට මීලඟ ජාතික මැතිවරණය බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව යි.

එමෙන්ම මීලඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වසර දෙක හමාරක කාලයක් ඉතිරිව ඇති බව අදාළ වැඩසටහනේ හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළා.

එවන් පසුබිමක නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම්වන බවට වාර්තා පළ වෙමින් ඇති බව යි ඔහු පෙන්වා දුන්නේ.

ආණ්ඩුව එවැන්නකට සූදානම් වන්නේ මන් ද යන්න පිළිබඳව ද සිරිසේන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

රටෙහි බලය තවදුරටත් රැක ගැනීමේ උපක්‍රමයක් ලෙස ආණ්ඩුව “ව්‍යවස්ථා ගැටයක්” ගැසීමට සූදානම්වන බව යි ඔහු එහි දී කියා සිටියේ.

මීලඟ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ එම කරුණ නිසා බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මැතිවරණ කටේ පිල් මාරු

මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දෙන 43 වැනි සේනාංකය ද තනි දේශපාලන කඳවුරක් ලෙස වැඩකටයුතු ආරම්භ කිරීමේ සූදානමක් පිළිබඳව ද වාර්තා වන්නේ මැතිවරණයක ඉඟි පහළවන මොහොතක යි.

43 වැනි සේනාංකය වෙනම ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කොට ඇති බව වාර්තාවන අතර ඔවුන් ඉදිරියේ දී බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ද සූදානම්වන බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ 43 වැනි සේනාංකය එවැන්නක් සැළසුම් කරන්නේ ඉදිරියේ දී සමගි ජන බලවේගයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස දේශපාලනයේ නිරත වීමේ අරමුණ ඇතිව බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බව යි.

මෙවන් වාතාවරණයක ප්‍රේමදාස මහතා කෙරෙහි කලකිරී සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු චම්පික රණවක මහතාගේ 43 වැනි සේනාංකය හා එකතු වීමට අවධානය යොමු කොට ඇති බව ද වාර්තාවන අතර එම පිරිස මේවන විටත් රණවක මහතා සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව යි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් වෙත වැඩිදුරටත් වාර්තා වූයේ.

මේ අනුව සමගි ජන බලවේගය ද දෙකඩ වීමේ සූදානමක් පවතින බව යි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 08:01