April 25, 2024

දිනකට ඝන මීටර මිලියන දෙකක ජලය වික්ටෝරියාවෙන් අතුරුදන් වෙයි

මෙරට ජල විදුලියට දායකවන ප්‍රධානතම ජලාශයක්වන වික්ටෝරියා ජලාශය මේවන විට සිඳී යමින් පවතිනවා.

ඒ මේවන විට පවතින අධික වියළි කාලගුණය හමුවේ යි.

එම ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා ඒෂියන් මිරර් වෙත අනාවරණය කළේ පවතින කාලගුණික තත්ත්වය හමුවේ දිනකට ඝන මීටර මිලියන දෙකක (2000000) පමණ ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශයෙන් වාෂ්ප වෙමින් පවතින බව යි.

වර්ග කිලෝමීටර 26ක් පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතින වික්ටෝරියා ජලාශයෙන් මෙලෙස දෛනිකව විශාල ජල ප්‍රමාණයක් වාෂ්ප වෙමින් ඇත්තේ මෙරට විදුලිබලය සම්බන්ධව දැඩි ගැටළුකාරී වාතාවරණයක් පැන නගිමින් ඇති මොහොතක යි.

වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438ක් වනවා.

පසුගිය 28වැනි දා වන විට ජල මට්ටම මීටර් 423 ක් දක්වා පහත බැස ඇති බව සඳහන්.

එමෙන්ම ජලාශයේ මුළු ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723ක් වන අතර 28 වැනි දා එම අගය වාර්තා වූයේ ඝන මීටර 421.7ක් ලෙස යි.

මේ අතර දෛනිකව වික්ටෝරියා ජලාශය මගින් ගිගාවොට්-පැය (gWh) 2.5 - 3.0 අතර විදුලි නිෂ්පාදනයක් කරන බව ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා අප සමග සඳහන් කළා.

තව ද මෙම මාසයේ ගතවූ දින 30 තුළ දී ගිගාවොට්-පැය (gWh) 85ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට මුදාහැර ඇති බව යි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ ඝන මීටර මිලියන 180ක පමණ ජල ප්‍රමාණයක් මුදාහරිමින්.

මේ අතර බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ සමස්ත විදුලි ඉල්ලුමෙන් දෙසැම්බර් මාසයේ දී 60%ක ප්‍රමාණයක් සහ නොවැම්බර් මාසයේ දී 65%ක් සපුරාගෙන ඇත්තේ ජල විදුලි බලාගාර මගින් බවට රජයේ සංඛ්‍යා ලේඛණ සඳහන් කරන බව යි.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර මගින් ජාතික විදුලි ඉල්ලුමට ලබා දෙන විදුලිය ප්‍රමාණය මේවන විට 25%ක් දක්වා පහත වැටී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළා.

එමෙන්ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව තුළ වියළි කාලගුණයක් පවතින බැවින් ජලාශවල ජල මට්ටම බොහෝ සෙයින් පහළ යන බව සඳහන් කරන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම කාලය තුළ රටෙහි විදුලි ඉල්ලුම යැපෙන්නේ තාප බලාගාර මත බව යි.

මෙවන් තත්ත්වයක් මත ජල විදුලි බලාගාරවලට සපුරාලිය නොහැකි ඉල්ලුම සපුරාලිය යුතු වන්නේ තාප බලාගාර මගින් බව ඔහු පවසන අතර, අවාසනාවකට නව තාප බලාගාර පද්ධතියට එකතු කර නොමැති හෙයින් මේවන විට පවතින තාප බලාගාරවලට වර්තමාන විදුලි ඉල්ලුම සපුරාලීමට ධාරිතාවක් නොමැති බව ද සඳහන් කළා.

Rate this item
(2 votes)
Last modified on Monday, 31 January 2022 13:49