April 19, 2024

එන්නත දීම නතර කරන දිනය රජය තීරණය කරයි! නොගත් අයට දඬුවම්?

කොවිඩ් මර්ධන එන්නත්කරණය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කරනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙටින් (29) ඇරඹෙන සතියක කාලය තුළ පමණක් බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව යි.

එම සතිය තුළ තෙවැනි මාත්‍රාව එලෙස ලබා දීමෙන් අනතුරුව එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පුද්ගලයින් මිලිනය 05ක් පමණ බූස්ටර් එන්නත මේවන විට ලබා ගෙන ඇති බව පෙන්වා දෙන ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ එන්නත ලබා දෙන අවසන් සතිය ඇතුළත මෙරට බහුතරයකට බූස්ටර් එන්නත ලබා දීම රජයේ බලාපොරොත්තුව බව යි.

පළමු සහ දෙවැනි මාත්‍රාවලට සාපේක්ෂව බූස්ටර් එන්නත ලබා ගත් පිරිස ඉතා අඩු බවත් එයට හේතු වී ඇත්තේ සමාජ ජාල තුළ බොරු ප්‍රචාරය කිරීම ආදී කටයුතු මගින් ඇතැම් පිරිස් කඩාකප්පල්කාරීව කටයුතු කිරීම බවත්, එම ව්‍යාජ තොරතුරුවල සඳහන්වන අතුරු ආබාධ පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන පරිදි රජය එන්නත්කරණය නිමා කිරීමට සැරසෙන්නේ, කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම මෙරට ආරම්භ කොට වසරක් ගතවන මොහොතේ වීම ද විශේෂත්වයක්.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට තුළ පවතින වර්තමාන කොවිඩ් තත්ත්තවය පිළිබඳ අනිසි බියක් ඇති නොකරගත යුතු අතර ඒ සඳහා දැනට පවතින එකම විසඳුම වන්නේ එන්නත්කරණය පමණක්මවන බව යි.

කල් ඉකුත් වීම

මේ අතර එන්නත්කරණ වැඩසටහන් අවසන් කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ බූස්ටර් එන්නත ලෙස මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වීමේ අවදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ මොහොතක යි.

අදාළ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ජුලි මාසයේ දී කල් ඉකුත් වීමට නියමිත බව ඔහු පසුගිය දිනෙක අනාවරණය කළා.

ඔහු එදින පවසා සිටියේ ජුලි මාසයට පෙර බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව පෙළඹෙනු ඇතැයි රජය අපේක්ෂා කරන අතර යම් හෙයකින් ජනතාව ජුලි මාසයට පෙර එන්නත් ලබා නොගතහොත් අදාළ එන්නත් මාත්‍රා ප්‍රමාණය කල් ඉකුත් වී යාමේ අවදානමක් ඇති බව යි.

එන්නත නොගත් අයට එන නීති

මේ අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මගින් නව නීති ගෙන එන බවට ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා පවසා සිටියා.

ඔහු එහි දී සඳහන් කළේ යම් අයෙකු “පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකු” ලෙස සැළකීමට නම් එන්නත් 03ම ලබා ගැනීම අනිවාර්යය කිරීමට අවධානය යොමුව ඇති බව යි.

එලෙස මාත්‍රා 03ම නොගෙන පූර්ණ එන්නත්කරණය නොවූ පුද්ගලයින් හට ප්‍රසිද්ධ ස්ථානවලට යාම තහනම් කිරීමේ නීති ද ඉදිරියේ දී ගෙන ඒමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.

ගැටළු රැසක ඇරඹුමක් ද?

කෙසේ වෙතත් මෙරට තුළ නිදහසේ සැරිසැරීමට තුන්වැනි එන්නත් මාත්‍රාව හෝ ඊට පෙර එන්නත් මාත්‍රා ලබාගෙන තිබීම නීතියෙන් අනිවාර්යය වන්නේ නම්, දැන් රජය සැළසුම් කරන පරිදි එන්නත්කරණය නතර කිරීම හරහා ගැටළු රැසක් මතු නොවන්නේ ද යන්න ප්‍රශ්ණාර්ථයක් වී තිබෙනවා.

එන්නත්කරණය අවසන් කිරීමෙන් පසු, එන්නත්කරණය වීම අනිවාර්ය වූ නීති හමුවේ යම් අයෙකුට පමා වී හෝ එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවක් මතුවුව හොත් එය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිළි නැහැ.

කුමන හෝ හේතුවක් මත තුන්වැනි මාත්‍රාව ලබා නොගත් බහුතර ජනතාව, එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමෙන් අනතුරුව එය ලබා ගැනීමේ විකල්ප නොමැතිව අදාළ නීති හමුවේ වරදකරුවන් වීම හරහා දැඩි අපහසුතාවයකට පත් නොවන්නේ ද යන්න අප මතුකරන ගැටළුව යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 January 2022 17:29