April 19, 2024

තුනට කැඩෙන පක්ෂය කුමක්දැයි හෙළිවෙයි! අගෝස්තුවේ දී මහා දේශපාලන පෙරළියක්!

මෙරට ප්‍රබල මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක් කැබලිවලට කැඩී යාමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ඒෂියන් මිරර් අප මීට දින කිහිපයකට පෙර අනාවරණය කළා.

එම පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එලෙස එම පක්ෂය කොටස් 03කට බෙදීමේ අවදානමක් මතුව ඇති බව යි.

මේවන විට එම පක්ෂය තුළ හටගෙන ඇති අර්බුද හමුවේ  පක්ෂයේ නායකයා සමග එක් පාර්ශවයක් ද විපක්ෂය සමග තවත් පාර්ශවයක් ද එකතු වීමට සූදානම් බවත් අනෙක් පාර්ශවය ආණ්ඩුවට සහය දීමේ සූදානමක් ඇති බවත් අදාළ ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වූවා.

එමෙන්ම අප වෙත වැඩිදුරටත් වාර්තා වූයේ අදාළ ප්‍රබල පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් 05 දෙනෙකු මේවන විටත් විපක්ෂය සමග එක් වීමේ අරමුණින් සාකච්ඡා ද සිදු කොට ඇති බව යි.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම පක්ෂයේ බෙදී යාම ඉතා නුදුරේදී සිදුවන්නට නියමිතව ඇති බව යි.

කැඩෙන පක්ෂය කුමක්දැයි එළියට

මෙරට දේශපාලන අභ්‍යන්තරයේ මෙවන් තොරතුරක් උණුසුම් ලෙස පැතිර යද්දී, එම තොරතුර සනාථ කරන ප්‍රකාශයක් සමගි ජන බලවේගය පාර්ශවයෙන් අද (27) නිකුත් වුණා.

එහි දී ප්‍රකාශ වූයේ කැඩී යාමට නියමිතව ඇති පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව යි.

සමගි ජන බලවේගය කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද අනාවරණය කළේ ආණ්ඩු පක්ෂය කොටස් 03කට කැඩී යාමට නියමිත බව යි.

කැඩෙන හැටි

එය මෙම වසරේ අගෝස්තු මාසයේ දී පමණ සිදුවනු ඇති බවට යි ඔහු සඳහන් කළේ.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පනස් දෙනෙකු පමණ විපක්ෂය වෙත පැමිණීමට නියමිත බව ද ඔහු පැවසුවා.

එම පිරිස විපක්ෂය වෙත පැමිණෙන නමුත් ඔවුන් සමගි ජන බලවේගය වෙත පැමිණේවි යැයි තමන්ට නිශ්චිතව පැවසිය නොහැකි බව යි ඔහු පෙන්වා දුන්නේ.

සිය ගෝලයින් බවට බැසිල් රාජපක්ෂ මහතා මේවන විට විශ්වාස කරමින් සිටින පිරිසක් ද විපක්ෂයට එක්වන පනස් දෙනාගේ පිරිසට අයත් බව ද මරික්කාර් මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියා.

කරන දේ ගැනත් ඉඟි

මේ අතර මෙලෙස ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට මන්ත්‍රීවරු පිරිසක් මාරු වීමෙන් අනතුරුව වර්තමාන ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු සැළසුම් කර ඇති ආකාරය පිළිබඳව ද මන්ත්‍රීවරයා ඉඟි ලබා දුන්නා.

අදාළ පිල් මාරුවෙන් පසු විපක්ෂයට බහුතර බලයක් ලැබෙන බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම බහුතරය විසින් යෝජනාවක් අත්සන් කොට පාර්ලිමේන්තුව විසිරවීමට කටයුතු යොදන බව යි.

ඉන් පසු මැතිවරණයක් හරහා මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බලාපොරොත්තුවන බව ඔහු අවධාරණය කළා.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මැතිවරණයකින් බලය ලබාගන්නවා මිස, ඔළු ගෙඩි මාරුවකින් හෝ වෙනත් කුමන්ත්‍රණයක් හරහා ආණ්ඩු බලය ගැනීමට සමගි ජන බලවේගයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, ආණ්ඩු බලය ගැනීමට සිය පාර්ශවයට කිසිදු හදිස්සියක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පොහොට්ටුවෙන් සජබට

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමග කටයුතු කරමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද පක්ෂය මාරු කිරීමේ සූදානමකින් සිටින බව පසුගිය දා අප වෙත වාර්තා වූවා.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අදාළ දේශපාලනඥයා දැඩි කලකිරීමට පත්ව සිටින අතර එම නිසා ඔහු සමගි ජන බලවේගය හා එක් වීමට තීරණය කොට ඇති බව යි පැවසෙන්නේ.

ඒ සඳහා ඔහු මේවන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය සමග ද සාකච්ඡා කොට ඇති බව සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

කලකිරුණු තවත් පිරිසක් 

තත්ත්වය එසේ වෙද්දී යළි සක්‍රීය කිරීමට  සැරසෙන (පුටුව ලකුණින් තරග වැදුණු) පොදු ජන එක්සත් පෙරමුණ සමග එක් වීම සඳහා මෙරට ප්‍රධාන පක්ෂ තුළ සිටින ප්‍රබල සාමාජිකයින් කිහිපදෙනෙකුම එම පක්ෂවලින් ඉවත් වීමේ සූදානමක් පවතින බව ඒෂියන් මිරර් අප මීට පෙර වාර්තා කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රියාවලිය සැලසුම් කෙරෙන බව සඳහන්.

සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන අය මෙන්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද මෙම නව වැඩපිළිවෙල සමග එක් වීමට නියමිත බව පැවසුණා.

එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ කලකිරීමෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කිහිපදෙනෙකු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද මෙලෙස යළි පණ දීමට යන පොදු ජන එක්සත් පෙරමුණ හා එක් වීමට තීරණය කොට ඇති බව යි අප වෙත වාර්තා වූයේ.

අනෙක් සන්ධානය

මේ අතර මේවන විට ආණ්ඩුව තුළ සිටිමින්ම ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සිය මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩ නැංවීමට සූදානම්වනවා.

සිරිසේන මහතා පවසා සිටියේ නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව මෙරට ප්‍රධාන වාමවාදී සහ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ රැසක් සමග මේවන විටත් සාකච්ඡා කොට ඇති බව යි.

ඒ සඳහා වූ මූලික වැඩකටයුතු මේවන විටත් ක්‍රියාත්මක බව පැවසූ ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොහොට්ටුව සමග අත්සන් කළ ගිවිසුමට අනුව එකඟ වී තිබූ බොහෝ දෑ තම පක්ෂයට නොලැබුණූ බවට යි.

බුලත් කොළය ලකුණුනින් පෙර මැතිවරණයවලට තරග වැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීය කරවන බවට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කොට තිබුණා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 27 January 2022 20:56

Related items