April 26, 2024

පානදුර රෝහලේ මහා කලබලයක් - මාරාන්තික සිද්ධිය ගැන පොලීසියට ලොකු සැකයක් (PHOTOS)

පානදුර මූලික රෝහලට පිවිසෙමින් සිටි ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (27) දහවල් මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ රෝගී වූ කාන්තාවක් රැගෙන එමින් තිබූ ගිලන් රථයක්.

ගිලන් රථයේ රියැදුරා මෙහි ඉලක්කය වී ඇති බව සඳහන්.

පානදුර දකුණ පොලීසිය පැවසූවේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී ප්‍රහාරකයන් භාවිත කළ ගිනි අවියක් අක්‍රීය වීම හේතුවෙන් රියැදුරුගේ දිවි බේරී ඇති බව යි.

(ඡායාරූප පුවත අවසානයේ)

මොකද වුණේ?

මෙම ගිලන් රථය පානදුර මූලික රෝහලෙහි ගේට්ටුවෙන් රෝහල තුළට ඇතුලු වෙන මොහොතේ දී යතුරුපැදි දෙකක් පැමිණ එහි මග හරස් කර තිබෙනවා.

එම යතුරුපැදි මත පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති බව යි සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ.

එහි දී එක් යතුරුපැදියක සිටි දෙදෙනා ගිලන් රථයේ රියැදුරු දොරටුව අසළට පැමිණ ඇති අතර අනෙක් යතුරුපැදියේ සිටි දෙදෙනා රෝහල් ගේට්ටුව අසල තවත් ගිනිඅවියක් අතැතිව සිට තිබෙනවා.

ගිලන් රථය අසලට පැමිණි යතුරුපැදියේ සිටි අයෙකු ගිනි අවිය රියැදුරු දෙසට එල්ල කොට වෙඩි තබා ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී ගේට්ටුව අසළ යතුරුපැදියේ සිටි පුද්ගලයින්, අනික් දෙදෙනා රියැදුරාව ඝාතනය කරන තුරු එම ඝාතකයින්ට ආරක්ෂාව සපයා ඇති බවට යි පොලීසිය සැක කරන්නේ.

පෙර පිනකින් බේරුණු පණ

කෙසේ වෙතත් මෙම අපරාධකරුවන් රියැදුරුට ගිනි අවිය එල්ල කොට වෙඩි තබා ඇතත් ගිනි අවියෙහි හටගත් දෝශයක් හේතුවෙන් එය ක්‍රියාත්මක වී නොමැති බව මේවන විට අනාවරණය වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කිරීමට භාවිත කළ ගිනි අවියෙන් ගිලිහුණු ජීව උණ්ඩයක් ද ගිලන් රථයේ ඉදිරිපස දොරටුව අසළ වැටී තිබිය දී පොලීසිය සොයාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මීට භාවිත කර ඇති අතර අපරාධකරුවන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට උත්සහ ගෙන ඇති බව සඳහන්.

ඉලක්කය වූ රියැදුරා පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකු බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු කළුතර, උතුරු තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පැවසෙනවා.

චිත්‍රපට දර්ශනයක් බඳු වූ මෙය සිදු වූ අවස්ථාවේ දී රෝහල් භූමියේ සිටි රෝගීන් සහ රෝගීන් බැලීමට පැමිණි පිරිස් දැඩි ලෙස කලබල වී ඇති අතර බියට පත් වූ ඔවුන් හිස් ලූ ලූ අත දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළා.

සිද්ධිය පිටුපස සැකයක්

මේ අතර පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වෙතින් ඒෂියන් මිරර් වෙත වාර්තා වූයේ පසුගිය වසරේ පෙබරවාරියේ දී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීමක්, මෙම සිද්ධිය හා සම්බන්ධ බවට මේවන විට සැක කරන බව යි.

හොරණ, දික්හේන්පුර දී සිදු වූ එම වැටලීමේ දී රුපියල් කෝටි 42ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 42ක් සොයාගත් අතර ඒවා ප්‍රවාහනය සඳහා භාවිත කර තිබුණේ ද ගිලන් රථයක්.

අදාළ හෙරොයින් තොගය "හටක් කටා" නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාට අයත් ඒවා වූ අතර අද දින වෙඩි ප්‍රහාරයට ඉලක්කය වූ රියැදුරා එම වැටලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත ඔත්තුවක් ලබා දුන් බවට වූ සැකයක් මත ඔහු ඝාතනය කිරීමට මෙලෙස උත්සහ දරා ඇති බව යි පොලීසිය සැක කරන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධි දෙක අතර සබඳතාවක් ඇත්දැයි මෙතෙක් ස්ථිරව තහවුරු කරගෙන නොමැති බව ද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර පානදුර අපරාධ සිදුවීම් ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම් විසින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වූ ස්ථානය අවට ප්‍රදේශය  දැඩි පරීක්ෂාවකට ලක් කළ බව යි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ප්‍රහාරය සඳහා පැමිණි සිවුදෙනා මේවන විට මොරටුව ප්‍රදේශයට පලා ගොස් ඇතැයි වාර්තාවන බව යි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 27 January 2022 19:07