April 19, 2024

පාසල්වල කොවිඩ් පොකුරු - තත්වය දරුණුයි Featured

මෙරටින් දෛනිකව හමුවන කොවිඩ් 19 ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින බව පසුගිය දින කිහිපය පුරාම අප ඔබට අනාවරණය කළා.

එය තවදුරටත් ඉහළ යමින් පවතින බව සනාථ කරමින් ගෙවුණු පැය 24 තුළ පමණක් ආසාදිතයින් බවට අලුතින් හඳුණාගෙන ඇති පිරිස 927ක් බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙනවා.

හඳුණා ගන්නා ආසාදිතයින් ගණන මේ අයුරින් දිනෙන් දින ඉහළ අගයක් කරා යොමු වෙද්දී සමාජය තුළ හඳුණා නොගත් ආසාදිතයින් ද සැළකිය යුතු ප්‍රමාණයක් සිටින බවටයි සෞඛ්‍ය අංශ බිය පළ කරන්නේ.

මෙවන් පසුබිමක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල් වෙත ඇතුළත්වන කුඩා ළමුන්ගේ සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ද මේ බව තහවුරු කළා.

එමෙන්ම කොළඹ ජාතික රෝහළට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව එම රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කර සිටියා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක් කොට සිටිය නමුත් මේවන විට යළි කොවිඩ් අවදානමක් හටගෙන ඇති බව යි.

එමෙන්ම හෝමාගම මූලික රෝහලේ කාර්යමණ්ඩලයේ 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියා.

වෛද්‍යවරුන් තිදෙනෙකු, හෙද හෙදියන් එකොළොස් දෙනෙකු හා කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ නව දෙනෙකු ඒ අතරට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසා සිටියා.

මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එවන් පසුබිමක පාසල් සිසුන් අතර ද කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පදියතලාව ජාතික පාසලේ සිසුන් දහ දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකුට පෙරේදා (25) කොරෝනා ආසාදනය වීමෙන් 10 ශ්‍රේණියේ පන්ති තුනක් සතියක කාලයකට වසා දමා තිබෙනවා.

ඒ බව එම විදුහලේ විදුහල්පති ආර්.එම්.සිරිල් රත්නායක මහතා ඒෂියන් මිරර් වෙත තහවුරු කළා.

දැනට දින කිහිපයක සිට සැක සහිත රෝග ලක්ෂණ පෙන්වූ සිසුන් කිහිප දෙනෙකු නැවත නිවෙස් වලට පිටත් කර යවා තිබෙනවා.

පදියතලාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් සංවිධානය කළ සිරිපා වනදා නඩයකට අයත් සිසුන් පිරිසක් ද මෙම ආසාදිත සිසුන් අතර සිටින බව පාසල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මේ අතර පන්තිකාමර තුළ දී දරුවෙකුගෙන් තවත් දරුවෙකුට කොවිඩ් රෝගය බෝවීමට තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අවම මට්ටමක පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළා.

වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, දරුවන් වැඩි පිරිසක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ පාසල තුළින් නොව භාහිර සමාජයෙන් බවයි.

මේ අතර පාසල් සිසුන් හා ගුරුවරු අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කොට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට, නිශ්චිත වැඩපිළිවෙලක් නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කළා.

ගුරු - විදුහල්පතිවරු රාජකාරි කිරීමේදී සිසු දරුවන්ට නිරාවරණය වන නිසා ඔවුන් අතර කොවිඩ් පැතිරීම පාලනය කිරීමට අදාළ අංශ ඒකාබද්ධව උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවද ඒ මහතා සඳහන් කළා.

දිගින් දිගටම කොළඹ හා තදාසන්න නගරවල පාසල් සිසුන් හා ගුරුවරුන් කොරෝනා ආසාදිත බවට පත්ව ඇතැයි ද ස්ටාලින් මහතා අවධාරණය කළා.

ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතර බහුලවම පැතිර යන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ පවසන නිසා පාසල් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 13:56