April 18, 2024

මාඔයේ මහා විනාශයක් - දැනටමත් අක්කර 50ක් ඉවරයි

මාඔයේ කළ මහා පරිමාණ වැලි හා මැටි කැනීම් ජාවාරමක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පෙරේදා (25) සමත් වී තිබෙනවා.

පන්නල පොලිස් වසමට අයත් තඹකන්ද ප්‍රදේශයේ මේ ජාවාරම වසරක පමණ සිට කරගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ජාවාරම හේතුවෙන් අක්කර පනහකට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර මාඔයේ ඉවුරුවලට දැඩි හානි සිදු වී තිබෙනවා.

වැටලීම කරන අවස්ථාවේ ට්‍රැක්ටර් දෙකකට මැටි පුරවමින් තිබු අතර ඒ සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍ර දෙකක්ද බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අවස්ථාවේ එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර බැකෝ යන්ත්‍රයේ රියදුරෙකු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජාවාරම හේතුවෙන් මේ ප්‍රදේශයට විශාල විනාශයක් වී ඇති අතර මාඔයේ ඉවුරු කැඩී යාම හේතුවෙන් සිදුව ඇති විනාශය තක්සේරු කළ නොහැකි මට්ටමක පවතිනවා.

මේ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පොලිසිය හා අනෙකුත් ආයතන වගකිව යුතු බවට ප්‍රදේශවාසීන් වැටලීම කළ නිලධාරීන්ට පවසා ඇති බව වාර්තා වෙනවා.

වැටලීමේදී මාඔයෙන් ගොඩ දැමු වැලි කියුබ් පහළොවකට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජවාරම්කරුවන් මාඔයේ ඉවුරේ පිහිටි විශාල ගස් බිම දමා කැණීම් කර ඇති අතර ඒ හේතුවෙන් ඊළඟ වර්ෂා සමයේදී මාඔය අඩි 200කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ වීමේ අවධානමක් පවතින බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 13:48