April 20, 2024

ජාතිමාමක විමලුත් වෙන්දේසිය අරඹයි : කඩදාසියත් පුද්ගලික අංශයට

දේශීය සම්පත් විකුණා නොදා රැකගැනීම ගැන කතා කරන විමල් වීරවංශ අමාත්‍යවරයාද විකිණීමට පුරුදු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ තමන් දරන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් පුද්ගලික අංශයට විකිණීමට පියවර ගැනීම නිසා.

කැබිනට් පත්‍රිකාව

එහෙත් එය හඳුන්වන්නේ විකිණීමක් ලෙස නොව පුද්ගලික අංශයට පැවරීමක් ලෙසයි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල මෙසේ පුද්ගලික අංශයට දීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබෙනවා.

ආණ්ඩුව එසේ තීරණයක් ගෙන තිබෙන්නේ විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාවකින් කළ ඉල්ලීමකට අනුවයි.

ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

විශාලතම නිෂ්පාදනාගාරය

ඇඹිලිපිටිය කඩදාසි කම්හල කලක් දේශීයව අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය කළ විශාලතම ආයතනය ලෙසයි හැඳින්වෙන්නේ.

එහෙත් ඉන් කාලයකින් වැඩක් ගෙන නැහැ.

වසර 10 කින් පමණ කිසිදු නිෂ්පාදන කටයුත්තක් එහි සිදුකොට නොමැති බැවින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල පුද්ගලික සමාගමක් වෙත මේ වන විටත් පවරා අවසන් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය එම සමාගම විසින් සැපයීමට නියමිතයි.

මසක නිෂ්පාදනය හා ලාභය

මේ ගනුදෙනුව ගැන ඇඹිලිපිටිය කඩදාසි සංස්ථාවේ සභාපති නිමල් රූපසිංහ මහතා කරුණු හෙළිදරව් කොට තිබෙනවා.

එහෙත් කඩදාසි කම්හල පවරාදුන් සමාගම ගැන සභාපතිවරයා තොරතුරු හෙළිදරව් නොකළත් එම සමාගම කඩදාසි විෂය ගැන දැනුමැති සමාගමක් බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

එම සමාගමට එක් මාසයක් තුලදී ටොන් 3000 ක කඩදාසි කොල නිෂ්පාදනයක් කළ හැකි බව සඳහන් කරන සභාපතිවරයාව මෙම නිෂ්පාදනයන් රාජ්‍ය ආයතන වලට හා දේශීය වෙළෙඳ පොළට කලින් කිරීමෙන් මසකට රු. මිලියන 200 ක ලාභයක් ඉපයිය හැකි බව පෙන්වා දෙනවා.

සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ සඳහා වූ නිශ්චිත ගිවිසුමක් මාසයක් ඇතුළත සකස් කිරීමට නියමිත බවයි.

Rate this item
(5 votes)
Last modified on Thursday, 27 January 2022 11:17