March 29, 2024

තවත් යන්ත්‍රයක් නවතියි! බලාගාරවලට ජලයත් නොදෙන බවට ඇමතිගෙන් ඉඟියක්!

ඉදිරියේ දී වැසි රහිත තත්ත්වයක් ඇති වුවහොත් විදුලිය නිෂ්පාදනය සඳහා ජලාශවලින් ජලය මුදාහැරීම සිදු නොකරන බව වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) මහනුවර දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

සිය ප්‍රමුඛතාව විදුලියට නොව ගොවිතැනට ලබා දෙන බව ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

කවුරුන් කෙලෙස ඉල්ලා සිටියත් නියගයත් සමග ජලාශවල ජල මට්ටම අඩුවුවහොත් ජලය ලබා දීමට නොහැකි බව යි ඔහු ප්‍රකාශකොට සිටියේ.

“අපි කරන්නේ ජල කලමණාකරණය. අපි ඒ්වා ඔක්කොම බලලා තමයි ජලය නිදහස් කරන්නේ විදුලියටයි ගොවිතැනටයි. ඉතින් අපි ප්‍රමුඛතාවය දෙන්නේ නම් ගොවිතැනට. නමුත් යම් හදිසි අවස්ථාවල නිදහස් කරනවා. නියගයත් එක්ක ජල මට්ටම අඩු වුණොත් ඉතින් දෙන්න බෑ කොහොම ඉල්ලුවත්. මොකද වගා කරපු ගොවිතැන ආරක්ෂා කරගන්නත් එපැයි”

තවත් බලාගාරයක් නවතියි

මෙවන් වාතාවරණයක සපුගස්කන්ද බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එය අක්‍රීය කර ඇති බව සඳහන්.

විදුලි ඉල්ලුම වැඩි වූ පසුගිය කාලයේ අදාළ බලාගාරය අඛණ්ඩව ධාවනය කර ඇති නිසා යන්ත්‍රවලට හානි සිදුවෙතැයි හටගත් බියෙන් මෙම නඩත්තු කටයුත්ත සිදු කරන බව යි අප වෙත වාර්තා වූයේ.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති විදුලි ප්‍රමාණය මෙගාවොට් 162ක් බව යි වාර්තා වන්නේ.

මේ අතර විදුලිබල මණ්ඩලය පවසන්නේ අදාළ බලාගාරය යළි සක්‍රීය කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බව යි.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රීය කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

නැවතුණු ජනන යන්ත්‍ර

මෙවන් පසුබිමක ඉන්ධන නොමැති වීම හේතුවෙන් නවතා දැමූ සපුගස්කන්ද බලාගාර සංකීර්ණයේ ජනන යන්ත්‍රය තවදුරටත් අක්‍රීයව පවතිනවා.

එම යන්ත්‍රයට ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් ඛණිජ තෙල් සංස්ථාව සමග යළි සාකච්ඡාවක් ද පවත්වා ඇති බව ද සඳහන්.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ ඇති මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය ද තවදුරටත් අක්‍රීයව පවතිනවා.

ඒ, එහි හටගත් දෝෂයක් හේතුවෙන්.

එය යළි පද්ධතියට එක් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව සඳහන්.

විදුලිබල මණ්ඩලය පවසා සිටියේ එය යළි සක්‍රීය කිරීම මෙම මස 30 වැනිදා පමණ සිදු කළ හැකිවනු ඇතැයි විශ්වාස කරන බව යි.

අදාළ ජනන යන්ත්‍රයේ පරීක්ෂණ ධාවනයක් ඊයේ (26) දින සිදු කර ඇති බව ද අප වෙත වාර්තා වූවා.

මේ අතර යළි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද (27) රැස්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 17:05