March 29, 2024

නව අනු ප්‍රභේද 2ක් දිවයින තුළ පැතිරීම ඇරඹෙයි! ළමුන් අවදානමේ!

ප්‍රථම වරට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගනු ලැබූ ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට ශ්‍රී ලංකාව තුළ ද පැතිර යමින් තිබෙනවා.

එවන් පසුබිමක එම ප්‍රභේදයේ නව අනු ප්‍රභේද දෙකක් මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවට යි අනාවරණය වී ඇත්තේ.

මේ බව සොයාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය විසින්.

මෙම අනු ප්‍රභේද දෙක නම් කොට ඇත්තේ ඔමික්‍රෝන් බී1 සහ ඔමික්‍රෝන් බී2 ලෙසට යි.

පසුගිය සති තුන තුළ ලබා ගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීම හරහා ලබාගත් දත්ත අනුව මෙම අනාවරණය සිදුකරගත් බව යි අදාළ විද්‍යායතනය ප්‍රකාශ කළේ.

හදිසි වැඩිවීම

මෙවන් පසුබිමක දෛනිකව වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින 05 තුළ දෛනික ආසාදිතයින් ගණන 800 ඉක්මවා ගොස් ඇති බව දත්ත නිරීක්ෂණයේ දී පෙන්නුම් කරන කරුණක්.

මීට පෙර දෛනික ආසාදිතයින් ගණන 600 ආශ්‍රිත සීමාවක පැවතුණා.

එමෙන්ම කොවිඩ් ආසාදිත මරණ ගණනෙහි ද යම් ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

පසුගිය සති දෙක තුළ මරණ 180ක් සිදුවී ඇති බව සඳහන්.

මේ අනුව මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි දරුණු මට්ටමකට ගමන් කරමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ගත වූ සති දෙකක කාලය තුළ මෙරටින් හමුව ඇති ආසාදිතයින් ගණන 8986ක් ලෙස සටහන් වීම ඊට සාක්ෂි සපයනවා.

එම ගණන වාර්තා වී ඇත්තේ PCR පරීක්ෂණ 104,211ක් හරහා යි.

දත්තවලට වඩා ඇත්ත භයානකයි

මේ අයුරින් හඳුණා ගන්නා ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ අගයක් කරා යොමු වෙද්දී සමාජය තුළ හඳුණා නොගත් ආසාදිතයින් ද සැළකිය යුතු ප්‍රමාණයක් සිටිය හැකි බවට යි සෞඛ්‍ය අංශ බිය පළ කරන්නේ.

ඇත්ත රෝගීන් ගණන, දත්තවලින් පෙනෙන රෝගීන් ගණනට වඩා වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ද සඳහන් කළා.

මීට පෙර රෝගීන් හඹාගෙන ගොස් පරීක්ෂණ සිදු කළ නමුත් මේවන විට සිදු කෙරෙන්නේ රෝග ලක්ෂණ ඇත්තන්, සැක සහිත තැනැත්තන් සහ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීම පමණක් වන බව ද විජේසූරිය මහතා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් සමාජය තුළ හඳුණා නොගත් රෝගීන් බොහෝ  සෙයින් සිටින බව යි ඔහු අවධාරණය කළේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “ජනතාව ඒකරාශී වීමේ සීමාවක් නැත්නම් සහ නොමිලේ ලබා දෙන එන්නත ගැනීමට පෙලඹෙන්නේ නැත්නම්, මේකෙ වැඩිවීම අහන්න දෙයක් නෑ. අනිවාර්යෙන්ම වැඩිවෙයි” යනුවෙන්.

කුඩා දරුවන්ට බලපෑම්

මෙවන් පසුබිමක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල් වෙත ඇතුළත්වන කුඩා ළමුන්ගේ සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ද මේ බව තහවුරු කළා.

එමෙන්ම කොළඹ ජාතික රෝහළට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව එම රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කර සිටියා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක් කොට සිටිය නමුත් මේවන විට යළි කොවිඩ් අවදානමක් හටගෙන ඇති බව යි.

ජාතික රෝහලේ අර්බුදය

එපමණක් නොව ඔක්සිජන් යන්ත්‍ර මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ ගණන ද වර්ධනය වී ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අනාවරණය කළා.

මෙවන් වාතාවරණයකට සිය රෝහලට මුහුණ දීමට හැකියාව ලැබුණේ පෙර සූදානමකින් පසු වූ නිසා බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කොට ඇති සම්පත් ප්‍රමාණය කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බව ද වෛද්‍ය ගජනායක මහතා සඳහන් කළා.

එමෙන්ම තව දුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ ගිය හොත් සාමාන්‍ය රෝගීන්ට දෙනු ලබන ප්‍රමුඛතාව ද ලබා දිය නොහැකිවනු ඇති බව ඔහු පැවසුවා.

ඒ හරහා වෙනත් ලෙඩ රෝග ඇති රෝගීන් විශාල ප්‍රමාණයක් අවදානමකට ලක්වනු ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් රෝගීන්ගේ වැඩි වීම හමුවේ සාමාන්‍ය සැත්කම්වලට දෙනු ලබන ප්‍රමුඛතාව ද අඩු කිරීමට සිදුවනු ඇති බවත් එම ප්‍රමුඛතාව ද කොවිඩ් 19 රෝගීන් බලා ගැනීමට යෙදවීමට සිදුවනු ඇති බවටත් ඔහු අනාවැකි පළ කළා.

දරුණු තත්ත්වයක්

මේ අතර කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අප වෙත වාර්තා වූවා.

එම පිරිස අතර ගැබිණි හෙද නිලධාරිනියන් තිදෙනෙකු ද සිටින බව සඳහන්.

මෙවන් තත්ත්වයක් මත ජාතික රෝහල තුළ හටගෙන ඇති තත්ත්වය අවතක්සේරු කළ නොහැකි බව යි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එන්. එස්. බී. මැදිවත්ත මහතා අනාවරණය කළේ ජනවාරි මාසයේ 03 වැනිදාවන විට ජාතික රෝහලේ එක් කොවිඩ් වාට්ටුවක් පමණක් තිබූ නමුත් මේවන විට කොවිඩ් වාට්ටු 07ක් දක්වා වර්ධනය වී ඇති බව යි.

ඊයේ (23) දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ජාතික රෝහල තුළ පමණක් හෙදියන් 62ක් කොවිඩ් ආසාදිත වී ඇති බව ද ඔහු අනාවරණය කළා.

එමෙන්ම මැදිවත්ත මහතා චෝදනා නගන්නේ මෙවන් තත්ත්වයක් හටගත හැකි බවට තමන් රජයට සහ රෝහල් පරිපාලනයට කල් කියා අනතුරු ඇඟවූ නමුත් එම පාර්ශවයන්ගෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව යි.

රජයෙහි සහ රෝහල් පරිපාලනයෙහි එම ක්‍රියා පටිපාටියෙහි ප්‍රතිඵලයක් ලෙස මේවන විට කොළඹ ජාතික රෝහල් කාර්යය මණ්ඩලය තුළ කොවිඩ් වෛරසය ඉතා දරුණු ලෙස පැතිරෙමින් පවතින බව ඔහු සඳහන් කළා.

ඔමික්‍රෝන්, රට ගිලගනියි ද?

මේ අතර නව ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට විශාල වශයෙන් පැතිර යා හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ප්‍රකාශ කරනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා සිහිපත් කළේ මීට පෙර ප්‍රමුඛ ප්‍රභේදය ලෙස පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම අතින් හතර පස් ගුණයකින් දරුණුවන බව යි.

ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ ඇති මෙම වැඩි පැතිරීමේ ලක්ෂණය හේතුවෙන් මෙරට විශාල ප්‍රමාණයක් රෝගී වීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කරනවා.

එවන් පසුබිමක රෝහල් කරා යොමුවන ප්‍රමාණය වැඩි වීමේ අවදානමක් ද ඇති බවත්, එන්නත්කරණය එම අවදානම අඩු කර ගැනීමට ඉතා වැදගත් බවත් වෛද්‍ය සිල්වා මහතා පෙන්වා දුන්නා.

අනතුරක් ඇති බව ඇමති පිලිගනියි

සෞඛ්‍ය අංශ එලෙස අදහස් පළ කරද්දී රට යම් අනතුරුදායක මට්ටමක් කරා යොමු වෙමින් පවතින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද පිළිගනු ලැබුවා.

ඉදිරිය ගැන යම් අනතුරු ඇඟවීමේ සංඥාවක් මේවන විට ලැබෙමින් පවතින බවත් එම නිසා ජනතාවගේ සහය අවශ්‍ය බවත් ඔහු පවසනවා.

සෞඛ්‍ය අංශ මේවන විටත් එම අනතුරට සූදානම් වෙමින් පවතින බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව අනතුරක් ඇති බව තේරුම් ගෙන පරිස්සමින් කටයුතු කිරීම වැදගත්වනවා මෙන්ම බූස්ටර් එන්නත ද ප්‍රමාද නොකර ලබා ගත යුතු බව යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 25 January 2022 17:51