March 29, 2024

ජාතික රෝහලේ දරුණු තත්ත්වයක්

කොළඹ ජාතික රෝහළට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කර සිටියා.

එපමණක් නොව ඔක්සිජන් යන්ත්‍ර මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ ගණන ද වර්ධනය වී ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අනාවරණය කළා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක් කොට සිටිය නමුත් මේවන විට රට තුළ යළි කොවිඩ් අවදානමක් හටගෙන ඇති බව යි.

මෙවන් වාතාවරණයකට සිය රෝහලට මුහුණ දීමට හැකියාව ලැබුණේ පෙර සූදානමකින් පසු වූ නිසා බව යි ඔහු පෙන්වා දෙන්නේ.

අනෙක් රෝගීන් අවදානමේ

කෙසේ වෙතත් සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කොට ඇති සම්පත් ප්‍රමාණය කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බව ද වෛද්‍ය ගජනායක මහතා සඳහන් කළා.

එමෙන්ම තව දුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ ගිය හොත් සාමාන්‍ය රෝගීන්ට දෙනු ලබන ප්‍රමුඛතාව ද ලබා දිය නොහැකිවනු ඇති බව ඔහු පැවසුවා.

ඒ හරහා වෙනත් ලෙඩ රෝග ඇති රෝගීන් විශාල ප්‍රමාණයක් අවදානමකට ලක්වනු ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් රෝගීන්ගේ වැඩි වීම හමුවේ සාමාන්‍ය සැත්කම්වලට දෙනු ලබන ප්‍රමුඛතාව ද අඩු කිරීමට සිදුවනු ඇති බවත් එම ප්‍රමුඛතාව ද කොවිඩ් 19 රෝගීන් බලා ගැනීමට යෙදවීමට සිදුවනු ඇති බවටත් ඔහු අනාවැකි පළ කළා.

කාර්ය මණ්ඩලය අතර වෛරසය පැතිරෙයි

මේ අතර කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අප වෙත වාර්තා වූවා.

එම පිරිස අතර ගැබිණි හෙද නිලධාරිනියන් ද සිටින බව සඳහන්.

මෙවන් තත්ත්වයක් මත ජාතික රෝහල තුළ හටගෙන ඇති තත්ත්වය අවතක්සේරු කළ නොහැකි බව යි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එන්. එස්. බී. මැදිවත්ත මහතා අනාවරණය කළේ ජනවාරි මාසයේ 03 වැනිදාවන විට ජාතික රෝහලේ එක් කොවිඩ් වාට්ටුවක් පමණක් තිබූ නමුත් මේවන විට කොවිඩ් වාට්ටු 07ක් දක්වා වර්ධනය වී ඇති බව යි.

තත්ත්වය දරුණුයි

ඊයේ (23) දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ජාතික රෝහල තුළ පමණක් හෙදියන් 62ක් කොවිඩ් ආසාදිත වී ඇති බව ද ඔහු අනාවරණය කළා.

ගැබිණි හෙදියන් තිදෙනෙකු ද ආසාදිතයින් අතර සිටින බව ද ඔහු පැවසුවා.

එමෙන්ම මැදිවත්ත මහතා චෝදනා නගන්නේ මෙවන් තත්ත්වයක් හටගත හැකි බවට තමන් රජයට සහ රෝහල් පරිපාලනයට කල් කියා අනතුරු ඇඟවූ නමුත් එම පාර්ශවයන්ගෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව යි.

රජයෙහි සහ රෝහල් පරිපාලනයෙහි එම ක්‍රියා පටිපාටියෙහි ප්‍රතිඵලයක් ලෙස මේවන විට කොළඹ ජාතික රෝහල් කාර්යය මණ්ඩලය තුළ කොවිඩ් වෛරසය ඉතා දරුණු ලෙස පැතිරෙමින් පවතින බව ඔහු සඳහන් කළා.

කියවන්න: නව අනු ප්‍රභේද 2ක් දිවයින තුළ පැතිරීම ඇරඹෙයි! ළමුන් අවදානමේ!

Rate this item
(2 votes)
Last modified on Tuesday, 25 January 2022 06:19