March 29, 2024

යහපාලනේ ලයිට් දුන්න හැටි හිටපු ඇමති කියයි

විදුලි අර්බුද්ධයක් ඇති අවස්ථාවක අමාත්‍යවරුන් දෙදෙනා එකිනෙකාට දෝෂාරෝපණය කර ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු විදුලිබල අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ලංකා විදුලි පද්ධතිය බිඳ වැටීම මගින් කර්මාන්ත බිඳ වැටිම, මිනිස්සුන්ගේ ජීවිතය බිඳවැටිම, ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම වැනි සියලුම දේ සිදුවන බවද පෙරේරා මහතා සඳහන් කළා.

තමා විදුලිබල රාජ්‍ය ඇමති වී සිටි කාලයේ නියඟයක් පැමිණි බවත් එවැනි නියඟයක් පැවතී අවස්ථාවකදීවත් මෙවැනි විදුලි බිඳ වැටීමක් සිදු නොවූ බවද ඒ මහතා අවධාරණය කළා.

අද (24) බණ්ඩාරගම දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"මම විදුලිබල රාජ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ඉතාමත් බැරෑරුම් නියඟ වලට මුහුණ දුන්නා. ඒ වෙලාවෙදි විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව කෘෂිකර්ම අමාත්‍යාංශයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සියලුම ආයතන ජල කළමනාකරණ කමිටුව හැටියට නිල වශයෙන් වෙලා ඉන්ධන ප්‍රමාණය විදුලිය සැපයීමට අවශ්‍ය කරන ජල ප්‍රමාණය ඒ වගේම යල කන්නයට මහ කන්නයට මුදාහැරීමට අවශ්‍ය ජල ප්‍රමාණය ඉංජිනේරු විද්‍යාව අනුව කෘෂිකර්මාන්තය අවශ්‍යතාව අනුව රටේ අවශ්‍යතාව අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන සැපයීම කාරණා අනුව සලකලා බලලා රට වෙනුවෙන් තීරණ ගත්තා. කැබිනට් මණ්ඩලයට සහ ජනාධිපතිතුමාට වාර්තා කළා.

2021 වසර ලංකාවේ වැඩියෙන්ම වර්ෂාපතනය තිබිච්ච අවුරුද්ද. වසර 40 ක කාලය ඇතුළත වැඩිපුරම වැහැපු අවුරුද්ද තමයි පහුගිය අවුරුද්ද. සෑම ජලාශයක් ම ඉතා හොඳින් පිරිලා තිබුණා. මේ වෙනකොට අවම මට්ටමට ජලය අඩු වෙලා තියෙනවා. ජලය අඩු වෙලා තියෙන්නේ නියගය නිසා නෙවෙයි. වෙන අස්වාභාවික හේතුවක් නෙවෙයි. ඊයේ දින වික්ටෝරියා ජලාශය බාර ඉංජිනේරුතුමා පැහැදිලි කළා කාරණා දෙකක් නිසා ජලය අසාමාන්‍ය ලෙස අඩුවෙලා තිබෙනවා කියා. කාබනික වගාවට ඕනවට වඩා ජලය මුදා හැරීම එක හේතුවක්. ඉන්ධන අඩු නිසා ජල විදුලි බලාහාර වෙත ජලය නිකුත් කරලා තියෙනවා. ජලය මුදා හැරීම පටන් ගන්නවා සිංහල අවුරුද්දෙන් සතියකට විතර පස්සෙ. එනිසා කෘෂිකර්මයට අවශ්‍ය ජල ප්‍රමාණය මේ ජලාශ වල පවත්වාගෙන යා යුතුයි. අද වෙනකොට ඒ මට්ටමට ආසන්න තත්වයකට පත්වෙලා තියෙනවා. තව දින කීපයක් යන කොට මේ විදුලිබල උත්පාදනය කරන විශේෂයෙන්ම මහවැලි පද්ධතියේ විදුලි බලය උත්පාදනය කරන ජලාශවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමේ තත්ත්වයක් පැන නගිනවා. එහෙම පැන නැගුනත් විදුලි බලය කපා හැරීමේ ප්‍රශ්නය විතරක් නෙවෙයි ඉන්ධන හිඟකම නිසා ඇතිවෙලා තියන පීඩනය පිළිබඳ ප්‍රශ්න විතරක් නෙවෙයි, අපේ රටේ ජාතික විදුලි බලාගාරවල සංඛ්‍යාතය පාලනය පිළිබඳ විශාල වගකීමක් දරන්නේ ජල විදුලි බලාගාර. ජල විදුලි බලාගාර නවතා දමන්නට සිද්ධ වෙනවා කියන්නේ ජාතික පද්ධතියේ සම්පූර්ණ වශයෙන්ම සංඛ්‍යාතය පාලනය එක නැති වෙන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

මේක ඉතාම බරපතළ තත්ත්වයක්. එක පැත්තකින් අපි ඩීසල් ගෙනහල්ලා ගල් අගුරු ගෙනහල්ලා අනිත් බලාගාර ක්‍රියාත්මක කළත් සංඛ්‍යාතය පාලනය කරන්න ජල විදුලි බලාගාර අත්‍යවශ්‍යයි. මේක ඉතාමත් බරපතළ අනතුරක් බව අපි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ලංකාවට ඉන්ධන සහ ගල් අඟුරු ගෙනාවත් ඩීසල් ගෙනාවත් ඉදිරි මාස කිහිපය තුළ ලංකා විදුලි පද්ධතිය බිඳ වැටීමේ අනතුරක් තියෙනවා. එනිසා රටේ කර්මාන්ත බිඳ වැටෙනවා. මිනිස්සුන්ගේ ජීවිතය බිඳවැටෙනවා. ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙනවා. මේ හරහා අපේ රටට ඉතාම බරපතළ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. අද ඇමැතිවරු දෙදෙනා එකිනෙකාට දෝෂාරෝපණය කර ගන්නවා. මේක ඉතාම නුසුදුසු දෙයක්. මේවා සුහදව විද්‍යානුකූලව දෙපාර්ශවය ඉංජිනේරුවන් සමග එක්වෙලා විසඳ ගන්න තියන ප්‍රශ්න."

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 19:54