April 20, 2024

ආණ්ඩුවේම පසුපෙල වටකර ගහන්න හදපු ඇමති අගමැති බේරා ගනියි : කිරි පැණි මිත්‍රයා නොදැක්කා සේ සිටී

පසුගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් උදය ගම්මන්පිල ඇමතිවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහය අගමැතිවරයා වැලැක් වූ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ගම්මන්පිල අමාත්‍යවරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ තබා තිබෙනවා.

සැලසුම් කළ ප්‍රහාරය

ඉන් පසුව පසුපෙල මන්ත්‍රීවරුන් සුදානම් වී තිබෙන්නේ ඒ ගැන ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට.

එම ප්‍රශ්න කිරීම ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කලින් සැලසුම් කර ගත් එකක් බවයි දැනගන්නට තිබෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වී තිබෙන්නේ ගම්මන්පිල අමාත්‍යවරයා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමග අත්සන් කළ ගිවිසුමට එරෙහිව අධිකරණය හමුවට ගොස් තිබෙන බැවින් එම ගිවිසුම හා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම අතර තිබෙනවා වෙනස කුමක්දැයි ප්‍රශ්න කිරීමට.

ඒ ගැන ප්‍රශ්න දෙක තුනක් අසද්දී ඉදිරියේදී ඇති වීමට යන තත්ත්වය එතරම් හොඳ නැති බව වටහාගත් අගමැතිවරයා වහාම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කර තිබෙනවා.

අගමැති කළ යෝජනාව

දැන් ගොඩක් වෙලා ගිය නිසා මේ රැස්වීම දැන් අවසන් කරමු යැයි එහිදී සඳහන් කර ඇති අගමැතිවරයා ඒ ගැන ඔයගොල්ල පස්සෙ වෙලාවක මේ ගැන ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්න යැයි සඳහන් කරමින් රැස්වීම අවසන් කිරීමට පියවර ගත් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ කිට්ටුම හිතවතා වන විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිට තිබෙන අතර සිද්ධිය නොඇසුණා සේ තමන්ගේ ජංගම දුරකථනය දෙස අවධානය යොමුකර සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ දෙපළගේ අනිත් හිතවතා වන වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා එදින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නැහැ.

මෙම සිද්ධිය සිදු වූයේ ජනපති රාජාසන කතාව කිරීමෙන් අනතුරුව එදින පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නව වසරේ පළමු රැස්වීමේදීයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 06:08