April 19, 2024

අර්බුදයට හේතුව විදුලි මාෆියාවක් ද? - හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්

විදුලිබල ක්ෂේත්‍රය තුල වසර ගණනාවක සිට බරපතල මාෆියාවන් තිබෙනවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ ශ්‍රි පුඤ්ඤසාර සමරු සදහම් පහය විවෘත කිරිමෙන් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළා,

"විදුලිය පිළිබද ප්‍රශ්නය එකපාරටම  ආපු  ප්‍රශ්නයක් නෙවෙයි. විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු පිළිබද තාක්ෂණික අංශවල වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න විසදා ගැනිමට නොලැබිමේ අවාසනාවන්ත තත්වය නිසා තමයි ජනතාවට කළුවරේ ඉන්න වෙලා තියෙන්නේ. පුද්ගලික අංශය තපා බලාගාරවලින් විදුලිය ගන්නවා. මේ රටේ ජනතාව දන්නේ නැහැ. විදුලි අර්බුදයක් නොමැති කාලවලදිත් පුද්ගලික අංශයෙන් විදුලිය ගැනිමට කෝටි බිලියන කීයක් වැය වෙනවාද කියලා. දිර්ඝ කාලයන සිට පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න. අතිවිශාල මුදලක් වැය කරනවා. තිබු ප්‍රශ්න එකතු වෙලා එකතු වෙලා ඇවිත් ඉතා නරක තැනකට ඇවිත් තියෙනවා. තෙල් අර්බුදය, ගල් අගුරු පිළිබද ප්‍රශ්න ආර්ථික අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන තත්වයක්. තාක්ෂණික හා දේශාපලන අංශ ඒ අය සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසදලා ජනතාවට අවශ්‍ය සහන සුභසාධන පහුසකම් ලබාදිම තමයි වැදගත් වෙන්නේ.

පසුගිය වසර දෙකක කාලය තුල රජය තුල සිටිමින් අපි නිකන් හිටියේ නැහැ. සමහර අය කියනවා අපි ආණ්ඩුව තුල ඉදිමින් ඉන්නවා ප්‍රශ්න කථා කරන්නේ නැහැ නිකන් ඉන්නවා කියලා. ආණ්ඩුව තුල සිටින පක්ෂයක් වශයෙන් ඔය සියලු ප්‍රශ්නයක්ම අපි දිර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙනවා. වගකිව යුතු අංශ සමග පුද්ගලිකව කථා කරලා තියෙනවා. පක්ෂයක් විදියට ලිඛිතව දන්වලා තියෙනවා. පාර්ලිමේන්තු කණ්ඩායමක් විදියට වගකිව යුතු අය හමුවෙලා කථා බහකරලා තියෙනවා. ආර්ථික අර්බුදය පොහොර ප්‍රශ්නය එදා ගුරු වැටුප් ප්‍රශ්නය, විදුලිය කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබද අර්බුද අපේ අදහස් හා යෝජනා අපි රජයට දිලා තියෙනවා. අර්බුද ඇතිවෙන්න කලින් ආරම්භක අවස්ථාවේ දි අපේ අදහස් හා යෝජනා අපි ලබා දිලා තියෙනවා. අවාසනාවකට අපි කියන දේවල් කෙරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ"

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

 

 

Rate this item
(0 votes)