April 18, 2024

පදමට සූර් වූ පිරිසක් නිසා සජිත් පැමිණි විරෝධතාවක ගුටි කෙලියක් (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිතව තිබූ ජන රැලියක ඇති වූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට පත් වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඊයේ (23) පෙරවරු 10.00ට මාතර ඌරුබොක්ක නගරයේ විරෝධතා පා ගමනක් සහ ජන රැලියක් සංවිධානය කර තිබුනේ සමගි ජන බලවේගය විසින්.

විරෝධතා පාගමන සහ විපක්ෂ නායකවරයා පැමිනෙන වේලාව 10.00ට බව සංවිධායකයින් ප්‍රකාශ කලද විපක්ෂ නායකවරයාට ඒ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක විවිධ රැස්වීම් සංවිධානය කර තිබුණා.

ඒ අනුව පෙරවරු 10.00 සිට පාක්ෂිකයන් බලා සිටි අතර සවස 1.30 වන විටත් විපක්ෂ නායකවරයා පැමිණියේ නැහැ.

එබැවින් සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විටින් විට ගොස් පදමට වෙරි වී එන ආකාරයක් දක්නට තිබු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

එම පිරිස ඌරුබොක්ක බස්නැවතුම්පල කෙළවරක තැනූ වේදිකාව ඉදිරිපිට ගීත ගායනා කරමින් නටන අයුරු දක්නට හැකි වූ බවත් දහවල් වන විට එකවරම ජනතාව අතර ගුටි බැට හුවමාරුවක් වන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඌරුබොක්ක පොලීසිය ස්ථානාධිපතිවරයා තම නිළධාරීන්ට උපදෙස් දුන්නේ මේ තත්වය සමතයකට පත් කරන ලෙසයි. ඒ අනුව ස්ථානාධිපතිවරයා හා නිළධාරීන් වහා මැදිහත් වුවද මුලින්ම මේ තත්වය සමතයකට පත් කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙහිදී දෙදෙනෙකු පොලිස් භාරයට ගත් අතර මේ අවස්ථාවේදී මෙය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ උදුරා ගැනීමට ගැටුමට මැදිහත්වූ පිරිස උත්සාහ කර තිබෙනවා.

පසුව සවස 2.00ට පමණ විපක්ෂ නායකවරයා පැමිණීමත් සමඟ විරෝධතා පෙළපාලිය සහ රැලිය ආරම්භ වූ බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

(ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක)

Rate this item
(1 Vote)