March 28, 2024

විදුලි අර්බුදය පිටුපස කුමන්ත්‍රණයක්? Featured

නොරොච්චෝල බලාගාරයේ තුන්වන යන්ත්‍රයේ සිදු වූ බිඳවැටීම තවමත් යථා තත්ත්වයට පත් වී නැති බවත් ඒ සම්බන්ධයෙන් චීන කණ්ඩායමක් ඒ පිළිබඳව සොයා බලමින් නඩත්තු කටයුතු සිදු කරමින් සිටින බව විදුලි අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී යූ. නිශාන්ත මහතා සඳහන් කරනවා.

මෙම තත්ත්වය මත වැඩියෙන් ජල විදුලි නිෂ්පාදනය කිරීමට සිදු වූ බවත් ඒ හේතුවෙන් තිබූ ජල සංචිත මේ වන විට අඩු වෙමින් පවතිනවා බවත් නිශාන්ත මහතා පැවසුවා.

පසුගිය මාස කිහිපයකට පෙර නඩත්තුවේ තිබී යළි පණ ගැන්වූ කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් හිතාමතාම ආක්‍රමණය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් මේ සඳහා විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළා.

ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"විදුලි අර්බුදයක් නිර්මාණය කරමින් ජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ද යන්න අපිට සැකයක් මතුවෙනවා. අද විදුලිබල මණ්ඩලයේ බලශක්ති කළමනාකරණය ඒකක ගණනාවක් තිබුණත් අවාසනාවකට කිසිදු බලශක්ති කළමනාකරණයක් වෙන්නේ නෑ. ඇතැම් අවස්ථාවාදී කණ්ඩායම් එකතු වෙලා මහජනයා අපහසුතාවයට පත් කර තිබෙනවා. අවස්ථාවාදී වෘත්තිකයා කූට ව්‍යාපාරිකයා සහ දූෂිත දේශපාලනඥයා සැදුම්ලත් කණ්ඩායමක් මහජනයා පීඩාවට පත් කර තිබෙනවා. මේ සඳහා කෙටි කාලීන විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තියට යා යුතුයි. මේ සදහා විධිමත් යාන්ත්‍රණයක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඩීසල් ලැබෙන විට ඩීසල්වලින් යන්ත්‍ර ධාවනයටත්, දැවි තෙල් ලැබෙන විට එම දැවි තෙල්වලින් ධාවනයටත්, ගල් අඟුරු ලැබෙන විට ගල් අඟුරු වලින් ධාවනයටත් නැතුව ජල විදුලිය අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක්. මේ යාන්ත්‍රණය පාලනය කිරීම සඳහා ජල සංචිතය ආරක්ෂා කර ගනිමින් නොරොච්චෝලේ ජනන යන්ත්‍රය පද්ධතියට එකතු කර ගැනීමෙන් යම් සහනයක් ලැබේවි. බලශක්ති කළමනාකරණය තුළින් ඉදිරි මාස කිහිපය කරගතහොත් මැයි ජුනි වන විට නැවතත් වර්ෂාව ඇති වීමෙන් ජල විදුලිය ලබා ගත හැකි වුවත් මේ සඳහා දීර්ඝකාලීන සැලසුමක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි."

(මීගොඩ - බුද්ධික කුමාරසිරි)

Rate this item
(2 votes)
Last modified on Monday, 24 January 2022 10:15