April 25, 2024

මැතිවරණයට පෙර පිල් මාරුව ඇරඹෙයි! පනින පිරිස කලින්ම එළියට!

ප්‍රධාන පක්ෂයක් කැඩී යයි 

මෙරට ප්‍රබල මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක් කැබලිවලට කැඩී යාමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ එලෙස එම පක්ෂය කොටස් 03කට බෙදීමේ අවදානමක් මතුව ඇති බව යි.

මේවන විට එම පක්ෂය තුළ හටගෙන ඇති අර්බුද  හමුවේ  පක්ෂයේ නායකයා සමග එක් පාර්ශවයක් ද විපක්ෂය සමග තවත් පාර්ශවයක් ද එකතු වීමට සූදානම් බව පැවසෙනවා.

අනෙක් පාර්ශවය ආණ්ඩුවට සහය දීමේ සූදානමක් ඇති බව යි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම අදාළ පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් 05 දෙනෙකු මේවන විටත් විපක්ෂය සමග එක් වීමේ අරමුණින් සාකච්ඡා ද සිදු කොට ඇති බව ද  වාර්තා වූවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම පක්ෂයේ බෙදී යාම ඉතා නුදුරේදී සිදුවන්නට නියමිතව ඇති බව යි.

පොහොට්ටු ප්‍රබලයෙකු සජිත් ලඟට

ප්‍රධාන දේශපාලන පක්ෂයක් දියාරු වී යාමේ සූදානමක් පිළිබඳ ඉඟි පළවන මෙවන් වාතාවරණයක මැතිවරණයක් පෙනෙන තෙක් මානයේ නොමැති වුවත් “පිල් මාරුව” ආරම්භ වී ඇති බවට තවත් පුවත් වාර්තා සාක්ෂි සපයනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද පක්ෂය මාරු කිරීමේ සූදානමකින් සිටින බවට වාර්තා වන්නේ ඒ අනුව යි.

මෙම හිටපු  නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමග කටයුතු කළ අයෙකු  බව පැවසෙනවා.

කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අදාළ දේශපාලනඥයා දැඩි කලකිරීමට පත්ව සිටින බව සඳහන්.

ඔහු සමගි ජන බලවේගය හා එක් වීමට තීරණය කොට ඇත්තේ ඒ අනුව යි.

ඒ සඳහා ඔහු මේවන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය සමග ද සාකච්ඡා කොට ඇති බව සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

පක්ෂ රැසක පිරිස් පුටුව වෙත

මේ අතර යළි සක්‍රීය කිරීමට  සැරසෙන (පුටුව ලකුණින් තරග වැදුණු) පොදු ජන එක්සත් පෙරමුණ සමග එක් වීම සඳහා මෙරට ප්‍රධාන පක්ෂ තුළ සිටින ප්‍රබල සාමාජිකයින් කිහිපදෙනෙකුම එම පක්ෂවලින් ඉවත් වීමේ සූදානමක් පවතින බව ඒෂියන් මිරර් අප මීට පෙර වාර්තා කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රියාවලිය සැලසුම් කෙරෙන බව සඳහන්.

සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන අය මෙන්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද මෙම නව වැඩපිළිවෙල සමග එක් වීමට නියමිත බව වාර්තා වූවා. 

එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ කලකිරීමෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කිහිපදෙනෙකු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද මෙලෙස යළි පණ දීමට යන පොදු ජන එක්සත් පෙරමුණ හා එක් වීමට තීරණය කොට ඇති බව යි අප වෙත වාර්තා වූයේ.

වැඩිදුර කියවන්න: ප්‍රබල පක්ෂ රැසක් බිඳී යයි - රටටම මතක පැරණි පක්ෂයකට යළි පණ එයි 

සිරිසේනගේ සැලසුම 

දේශපාලන කරළියේ අස්ථාවරත්වයක්  ගොඩ නැගෙමින් පවතින මොහොතක  තිරය පිටුපස මෙලෙස උණූසුම් වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ප්‍රකාශ කරන්නේ සිය පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධානයක් ගොඩ නැංවීමේ සූදානමක් පිළිබඳව යි.

එම පක්ෂයේ  සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කොට සිටියා.

නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව මෙරට ප්‍රධාන වාමවාදී සහ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ රැසක් සමග සාකච්ඡා කළ බව ද අනාවරණය කරන සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සඳහා වූ මූලික වැඩකටයුතු මේවන විටත් ක්‍රියාත්මක බව යි.

එමෙන්ම පොහොට්ටුව සමග අත්සන් කළ ගිවිසුමට අනුව එකඟ වී තිබූ බොහෝ දෑ තම පක්ෂයට නොලැබුණූ බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා නැගුවා.

බුලත් කොළය ලකුණුනින් පෙර මැතිවරණයවලට තරග වැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීය කරවන බවට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කොට තිබූ පසුබිමක යි මෛත්‍රිපාල සිරිසේන මහතා නව සන්ධානයක් පිළිබඳ ඉහත අනාවරණය සිදු කළේ.

වැඩිදුර කියවන්න: ආණ්ඩු බලය ගන්න පෙර පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු ගැන මෛත්‍රී හෙළිකරයි 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 25 January 2022 06:08

Related items