April 24, 2024

ඇමැති චන්ද්‍රසේනගෙන් කැබිනට්ටුවට අමුතු යෝජනාවක්! ඇමතිවරු කැළඹෙයි - බැසිලුත් හරස් වෙයි

ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට ඇමැතිවරු ගණනාවක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් එම යෝජනවා හකුලාගෙන තිබෙනවා.

එම කැබිනට් යෝජනාව අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණේ දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහායි.

ඇමතිවරුන්ගේ විරෝධය

එහිදී අමාත්‍යවරු ගණනාවක් දැඩි විරෝධය පළ කර ඇති අතර එම නිසා අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චන්ද්‍රසේන මහතා විසින් ඉවත් කර ගෙන තිබෙනවා.

මේ ගනුදෙනුවට සිය දැඩි විරෝධය පළකර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ප්‍රමුඛ අමාත්‍යවරුන් පිරිසක්.

මෙම ඉඩම මෙලෙස පැවරුවහොත් මීට පෙර වෝටර්ස් එජ් ඉඩම පැවරීම උසාවියෙන් අවලංගු කළ පරිදි ගනුදෙනුව අවලංගු කර නැවත ඉඩම රජයට පැවරෙනු ඇති බවයි එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ.

කැබිනට් ලේකම් ඇත්ත කියයි

මෙහිදී කැබිනට් ලේකම්වරයාගෙන් එහි නෛතික තත්ත්වය ගැන මතයද අමාත්‍යවරුන් විමසා තිබෙනවා.

ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ රජයේ කිසියම් ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් පැවරිය හැක්කේ ආගමික හා සංස්කෘතික කටයුත්තකට පමණක් බවය.

ව්‍යාපාරවලට ඉඩම් පැවරිය යුත්තේ දිගුකාලීන බදු පදනම යටතේ රජයේ තක්සේරුවට මිස නිදහස් දීමනා පත්‍රය මගින් නොවන බවද ඒ මහතා අවධාරණය කර තිබෙනවා.

මේ ආකාරයට එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය නිසා ඉඩම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසේන මහතාට සිදුවී තිබෙනවා.

Rate this item
(0 votes)