April 17, 2024

ජාතික රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරීයයි! ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගත් ප්‍රදේශ මෙන්න

කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේවන විට යළිත් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 75 දෙනෙකු මෙරටදී හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරන්නේ පසුගිය 15 වනදා දිනයේදී ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගනු ලැබූ බවයි.

ඔමික්‍රෝන් රෝගීන් හමුවූ ප්‍රදේශ

මෙවර වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් සියලු දෙනාම මෙරට සමාජයෙන් හමුවූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී BA 1 යන ඔමික්‍රෝන් අනුප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පැරකුඩාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්ය.

එමෙන්ම BA 2 යන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, නුගේගොඩ සහ ඉන්දියාවේ සිට පැමිණි එක් මගියෙකුගෙන් බව ආචාර්ය චන්දිම ජිවන්දර මහතා කියා සිටියා. 

මිට අමතරව B .1.1.529 කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයින් 7දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අංගොඩ, කොළඹ, රුවන්වැල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවලින්.

ජාතික රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරිලා

කොළඹ ජාතික රෝහලේ අධි සත්කාර ඒකක දෙකේම ඇඳන් සියල්ලම අද වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා සඳහන් කළා.

එම අධි සත්කාර ඒකක දෙකේ මීට සතියකට පමණ පෙර ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවක් සිටි බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා රටපුරා රෝගීන් ජාතික රෝහලට ඇතුළත් වන නිසා මෙය රැල්ලක් බවට පත්ව ඇති බව ද සඳහන් කළා.

කොවිඩ් ආසාදිතයන් සමාජය තුළ වැඩිවෙත්ම ඉන් පිරිසක් දැඩි සත්කාර ඒකකවලට (ICU) යොමු වන බවත් ආසාදිතයන් වැඩිවීමත් සමඟ අයි.සී.යූ. සහ එච්.ඩී.යූ. ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය ද ඉහළ යන බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වේගයෙන් වැඩිවෙමින් තියෙන බවත් එය පාලනය කිරීමට එකම මාර්ගය එන්නත්කරණය බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.  

කොරෝනා මරණ 12ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු පෙරේදා (21) මරණයට පත් වී ඇති බවයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,284 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 11 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර එක් අයකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 3 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 09:25