March 29, 2024

ප්‍රබල පක්ෂ රැසක් බිඳී යයි - රටටම මතක පැරණි පක්ෂයකට යළි පණ එයි

පුටුව ලකුණින් මැතිවරණවල දී තරගවැදුණු පොදු ජන එක්සත් පෙරමුණ යළි සක්‍රීය කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මකවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් මෙය සිදු කිරීමට යන බව යි පැවසෙන්නේ.

එහි දී එම පෙරමුණ යළි සක්‍රීය කොට එහි මූලිකත්වයෙන් තවත් පාර්ශව එක්ව සන්ධානයක් ගොඩ නැගීමට යන බව වාර්තාවනවා.

දන්න මුහුණු රැසක්

පසුගිය දා ආණ්ඩුවට එරෙහි මත ප්‍රකාශ කිරීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය තනතුරින් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද  මෙම වැඩපිළිවෙල සඳහා එක්ව ඇති බව සඳහන්.

ඊට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ද පොදු ජන එක්සත් පෙරමුණ යළි සක්‍රීය කිරීමට මේවන විටත් එක්ව ඇති බව පැවසෙනවා.

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද මෙම නව සන්ධානය හා එක් වීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළා.

මේ වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය සහ වෙල්ගම මන්ත්‍රීවරයා අතර සාකච්ඡා වට කිහිපයක්ම සිදුව ඇති බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුවේ පිරිසකුත් එන ලකුණු

තව ද මෙම සන්ධානය හා එකතු කර ගැනීම සඳහා, වර්තමානයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳ කළකිරී සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නියෝජනය කරමින් සිටින පිරිසක් ද මේ සඳහා එක් වීමට සූදානමක් ඇතැයි වාර්තා වීම යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දිනෙක ප්‍රකාශ කළේ බුලත් කොළය ලකුණින් අතීතයේ මැතිවරණවලට ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීය කරන බවට යි.

පොත පිටුපසත් අරමුණක්

මේ අතර ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදාන කෘතියක් ද පසුගිය දා එළිදැක්වූවා.

එයට කලාකරුවන්, දේශපාලනඥයින්, වෘත්තීයවේදීන් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයින් රැසක් එක්ව සිටියා.

එම කෘතියත්, එය එළිදැක්වීමේ උළෙලත් පිටුපස ඇති අරමුණ වන්නේ ද ඇය යළි සක්‍රීය දේශපාලනයට පිවිසීම බව යි පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 January 2022 17:03

Related items