March 29, 2024

රට යළි අවධානමේ! රට නැවතත් අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට?

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම තුළ ලබන මාසයේදී රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හමුවේ රට යළිත් අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බවයි.

ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීම මන්දගාමී තත්ත්වයක පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"මේ රෝගීන් ප්‍රමාණය වැඩිවුණාම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු කිරීම වැඩිවුණාම නැවත වතාවක් පෙබරවාරි පළමු සතිය දෙවැනි සතිය වෙනකොට රට තුළ රෝගීන් ප්‍රමාණය එකතුවුණාම දිනපතා මේ ප්‍රමාණයේ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු වුණාම දිනකින් දෙකකින් ඔවුන් එතැනින් එළියට යන්නේ නෑ. සමහර වෙලාවට සතියක් දෙකක් ඇතුළේ රැදෙනවා. එහෙම වුණාම අපිට තියෙන්නේ සීමිත ඇදන් ප්‍රමාණයක් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ දැඩි සත්කාර ඒකකවල. නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන්කමක් තියෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ අසාධ්‍ය වීම හා මියයෑමට තියෙන සම්භාවිතාව සාපේක්ෂව අඩු වුණාට රෝගීන් ප්‍රමාණය ඉක්මනින් පැතිර යෑම වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා මේක සෙල්ලමකට ගන්න නරකයි. දැන් මේ සියල්ලම හරි කොවිඩ් වසංගතයේ අන්තිම කොනට ඇවිත් තියෙන්නේ අපිට මේ බුස්ටර් එන්නතෙන් ඇති වැඩක් නෑ කියලා. එහෙම වුණොත් එහෙම ඉදිරි සති කිහිපය ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්."

මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 840 දෙනකු ඊයේ (21) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

විදේශයන්හි සිට පැමිණි 6 දෙනෙක් ද ඒ අතර වෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6,00,203 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තා වේ දැක්වෙනවා.

එමෙන්ම තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ පෙරේදා (20) තහවුරු කර ඇති බවයි.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,272ක්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 21 January 2022 20:16