March 29, 2024

පාඨලීගේ අසනීපය බොරුවක්? - අධිකරණයේදී හෙළිදරව්වක්

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් විභාග වල නඩුවට සහභාගී වීමට තිබියදී පසුගිය 10 වැනිදා ලංකා හොස්පිටල්ස් වෙත ඇතුලත් වූ පාඨලී චමිපික රණවක මහතාට රෝගී තත්ත්වයක් නොමැති බව කොළඹ ප්‍රධාන අධිකරණ නිළධාරියා විසින් කොළඹ මහාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයකට අනුව පාඨලී චම්පික රණවක මහතාට සිදු කළ වෛද්‍ය පරික්ෂණ 10කින් අනතුරුවයි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ ඉකුත්දා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉකුත් 11 වනදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල් ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව සිහිපත් කළා.

එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ඨාශයට නියම කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා රෝහල්ගතව සිටින බව කියන චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර සිටියා.

ඒ අනුව නඩුව ආරම්භයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු දක්වා සිටියා.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුව කඩිනමින් හා කාර්යක්ෂම අවසන් කර ගැනීමට පැමිණිල්ල අපේක්ෂා කරන බවද දන්වා සිටියා.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළා.

විත්තිකරුට අසනීපයක් වූ විට රෝහල් ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණෙන් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවයි සඳහන් කර සිටියේ.

මෙම විත්තිකරුට හෙට දිනයෙත් වෛද්‍ය පරීක්ෂණයකට භාජන වීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිඥවරයා නඩු විභාගය කල් තබා ගැනීමේ චේතනාවක් ඔහු තුළ නොවූ බවත් සඳහන් කළා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල් දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි. එය ඔහුට ඇති නිත්‍යානුකුල අයිතියක් බවද විනිසුරුවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු ”‍සාමාන්‍ය”‍ තත්ත්වයේ පසුවන බව සඳහන් කර ඇති බවත්, විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමට සුදුසු සෞඛ්‍ය තත්වයේ පවතින බවත් ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවක් කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බව සඳහන් කළා.

ඒ සඳහා නීතිඥවරුන්ගේ පහසුව සහ අධිකරණයේ පහසුව යන කාරණා තුලනාත්මකව සලකා බලා එම අරමුණ ඉටුකර යුතු ගත යුතු බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා සහ 23 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 14:17