April 25, 2024

"රනිල්ට නම් අපි කැපුවේ නැහැ : වැඩිපුරත් දුන්නා" - රනිල්ට හිටපු ගෝලයෙකුගෙන් ප්‍රතිචාර

ඊයේ (20) පැවැති ජනපතිවරයාගේ රාජාසන කතා විවාදයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කතා කිරීමට ලබාදුන් කාලය අඩු කිරිම පිළිබඳව ප්‍රශ්නයක් අද (21) පාර්ලිමේන්තුවේ දී මතු වුණා.

එම ප්‍රශ්නය මතු කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

ප්‍රවෘත්තියට පිළිතුරු

ඊට පාදක කර ගෙන තිබුණේ අද (21) පුවත් පත්වල පළ වූ ප්‍රවෘත්තියක්.

"රාජාසන කතාව විවාදයේදී විපක්ෂයේ අනෙකුත් පක්ෂ වලට කැපිල්ලක් , රනිල්ගේ කාලයක් කපයි" යනුවෙන් එම ප්‍රවෘත්තියේ පළ වී තිබෙන බව සඳහන් කරමින් කිරිඇල්ල මහතා වික්‍රමසිංහ මහතාට ලබාදුන් කාලේ පිළිබඳව අදහස් දැක්වූවා.

අදාල විවාදයේදී විපක්ෂයට ලබාදී තිබෙන කාලය විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ ගානෙන් බෙදූවිට එක් මන්ත්‍රීවරයෙකුට හිමි වන්නේ විනාඩි 3 ක පමණ කාලයක් බවයි කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ.

තනි මන්ත්‍රී කතාව

එහෙත් හිටපු අගමැතිවරයෙකු ලෙස වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨත්වයට සලකා පක්ෂයක් නියෝජනය කරන තනි මන්ත්‍රීවරයෙක් වුවත් ඔහුට විනාඩි 20ක කාලයක් කතා කිරීම සඳහා ලබාදුන් බව කිරිඇල්ල මහතා හෙළි කළා.

ඔහු එසේ සඳහන් කළේ මේ ආකාරයට ප්‍රවෘත්ති පළ කිරීම සමගි ජන බලවේගයට කරන අපහසයක් බැවින් එය නිවැරදි කරන ලෙස එම ප්‍රවෘත්තිය පළ කළ පුවත්පත් කතුවරුන්ගෙන් ඉල්ලීමක්ද කරමින්.

සභානායකගේ මතය

එහිදී නැගී සිටි සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ පිළිගත් පක්ෂයක් නියෝජනය කරන තනි මන්ත්‍රීවරයකු සිටින පක්ෂ නායකයෙකුට වුවත් අන් පක්ෂ නායකයෙකුට හිමිවන කාලයම ලැබෙන බවයි.

ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 යටතේ බව සභානායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ අවස්ථාවේ එම කාරණයට මැදි වූ වික්‍රමසිංහ මහතා සභානායකවරයා කළ ප්‍රකාශය අනුමත කරමින් මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බව දැනුම් දුන්නා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ ආණ්ඩුවේ සභානායකවරයා ලෙස මෙන්ම කැබිනට් ඇමතිවරයෙකු ලෙසත් කටයුතු කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 11:13

Related items