April 20, 2024

ගුරුවරුන්ට දුන් 5000 නවතී

රාජ්‍ය පළාත් අංක 03/2022 දරණ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස සිට රුපියල් 5000ක අතිරේක දීමනාවක් හිමි ගැන්වීම ගුරු සේවයට හිමි නොවන බවට වාර්තා වනවා.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

ඉහත අංකය දරණ චක්‍රලේඛය අනුව 2022 ජනවාරි මස සිට රජයේ සේවකයින්ට හිමි ගැන්වෙන රුපියල් 5000 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පෙරේදා (18) දිනයේ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී යි.

එම අතිරේක දීමනාව අදාළ ගුරු වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කළ ද, එය වැටුපට එක් නොකර ඇති බව ද නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, එම තීරණය සංශෝධනය වූ බවට සටහනක් ඇතුලත් තවත් ලිපියක් මෙලෙස සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ආර්.හසන්ති යන නිලධාරිනිය යන නමින් ඇති සටහනයේ දැක්වුයේ තම අනුදැනුමකින් තොරව නිකුත් කර ඇති ඉහත ලිපිය නොසකලා හරින ලෙසයි.

එමෙන්ම රුපියල් 5000ක දීමනාව ලබන මස සිට හිඟ මුදලද සමඟ ගෙවන ලබන බවත් සංශෝධිත වැටුප් පත්‍රිකා එළඹෙන සදුදා සිට ලබා ගත හැකි බවත් එහි සටහන්ව තිබුණා.

"වැටුපට මේ රුපියල් 5000 එකතු කරලා වැටුප් ලේඛන හදලා තියෙන්නේ. එහෙම හදලා තියෙද්දී ඊයේ දවසේ තමයි දැනුම් දෙන්නේ මේ 5000 ලබන මාසෙට දාන්න මේ සඳහා ප්‍රතිපාදන වෙන් කරලා නැහැ කියලා. අපි දැක්කා නැගෙනහිර පළාතේ ගණකාධිකාරිවරු එක්කහු වෙලා ලියුමක් යවලා තියෙනවා මේ රුපියල් 5000 මේ මාසේ දාන්න එපා කියලා. ඒ වෙනකොටත් වැටුප් ලේඛන හදලා ඉවරයි. ඊයේ දවසේ උතුරු මැද පළාතේ රුපියල් 5000 වැටුප් ලේඛනයට ඇතුලත් කළාට පස්සේ කිය්යනවා ප්‍රතිපාදන ඇවිල්ලා නැහැ 5000 ලබා දෙන්න එපා කියලා. සමහර තැන් වල 5000 ලබා දීලා තියෙනවා. 20 වැටුප් බව දැනගෙන 19 වෙනිදා හවස කියනවා නම් රුපියල් 5000 දාන්න එපා ප්‍රතිපාදන එවලා නැහැ කියලා ඒක යම්කිසි විදියක කලාප අධ්‍යාපන කාර්යාලය වල වැටුප් සකස් කරන අයත් අපහසුතාවයට පත්වෙනවා. ඒ වැටුප් බලාපොරොත්තු වෙන අයත් අපහසුතාවයට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් මිට වඩා අවධානයක් යොමු කරන්න ඕනේ. ඉදිරි මාසයේදී මේක ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

"ඇත්තටම මුදල් ලැබෙන්නේ මධ්‍යම රජයෙන්. මුදල් ඉවර වෙලා තිබුණා. ඒ නිසා ගණකාධිකාරිවරුන්ට දැනුම් දුන්නා මුදල් ලැබුනහම ගෙවන්න කියලා රුපියල් 5000 සහනදායි මුදල පමණක්. ඒක අම්පාර කාර්යාලයේ සිටින පුද්ගලයා තාවකාලිකව අත්හිටුවන ලදී කියලා ලියුමක් යවලා තියෙනවා පේ ෂීට් එකත් එක්ක ප්‍රින්සිපල්ස්ලා හතර පස් දෙනෙකුට. ඒක තමයි ඔය ෆේස්බුක් හරහා ගිහින් තාවකාලිකව නතර කරලා කියන්නේ. සහනදායි රුපියල් 5000 නතර කරලා නෙවෙයි අපිට නැවත මුදල් ලැබුණු විගසම අලුත් පේ ෂීට් එකක් හදලා අපිට ගෙවන්න පුළුවන්. අපිට ඊළඟ මාසේ පඩියත් එක්ක එකතු කරලා ගෙවනකම් ඉන්න අවශ්‍ය නැහැ. පළාතේ සිටින සියලුම ගුරුවරුන්ට අපි මේ රුපියල් 5000 ගෙවනවා. කවුරුහරි හිතාමතා තාවකාලිකව අත්හිටුවන ලදී කියන වචනය භාවිතා කළා නම් ඔවුන්ට යම් දඬුවමක් කළ යුතුයි. අනවශ්‍ය ලෙස රට තුළ ආන්දෝලනයක් ඇති කළ යුතු නැහැ."

 

Rate this item
(0 votes)